ගෙලිඔය – දවුලගල ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්වූ ව්‍යාපාරිකයාගේ දියණිය සහ ඇයව පැහැරගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, පැහැරගැනීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මතයි.
පැහැරගත් සිසුවිය සහ සැකකරු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අම්පාර බස්නැවතුම්පොළේ සිටියදීයි.
ගෙළිඔය – දවුලගල – හපුගහයටතැන්න ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු මාර්ගයේ ගමන්ගත් 19 හැවිරිදි මෙම පාසැල් සිසුවිය පසුගියදා පැහැරගනු ලැබුවා.
පැහැර ගත් සිසුවිය සැකකරු විසින් පළමුව කල්කුඩා ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර අනතුරුව මඩකලපුව මාර්ගය හරහා අම්පාර ප්‍රදේශයට රැගෙනවිත් තිබුණා.
සිසුවිය අම්පාර ප්‍රදේශය දක්වා රැගෙන යාම සඳහා සැකකරු වෑන් රථයට අමතරව ත්‍රිරෝද රථ 3ක් උපයෝගී කරගෙන තිබෙනවා.
එම ත්‍රිරෝද රථ 3ට සිසුවිය මාරු කරමින් රැගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු පොලිසිය නොමග යැවීම සදහා ජංගම දුරකතන තොරතුරු නිරීක්ෂණය කරමින් ගෙලිඔය සිට අම්පාර දක්වා පැමිණ ඇත්තේ පොළොන්නරුව, වාලච්චේන, සයින්දමරුදු, කල්මුණේ යන ප්‍රදේශ පසු කරමින්.
පසුව අම්පාරේ ලැගුම්හළක සිසුවිය රඳවාගෙන සිට තිබෙනවා.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිසුවියගේ පියා ඔහුගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් ලබාගෙන තිබූ බැවින් ඒවා ආපසු තමන්ට ලබා නොදීම හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදු කළ බවයි.
තමන් විදෙස් රටක රැකියාව කළ බවත් සිසුවිය සහ තමන් අතර පෙම් සබඳතාවක් පැවති බවත් ඊට සිසුවියගේ මව්පියන් මුලින් කැමැත්ත පළ කළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
ඒ අනුව, අදාළ සිසුවියගේ පියාට ව්‍යාපාර කටයුතු සඳහා තමන් විශාල වශයෙන් මුදල් එවූ බවත්, අවසානයේ ඇයගේ මව්පියන් තමාට අකමැත්ත පළ කිරීමත් සමග තමාට මුදල් සහ පෙම්වතිය අහිමිව ගිය බවයි සැකකරු සදහන් කර ඇත්තේ.
තමන් විසින් ලබාදුන් මුදල් යළි ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැරගැනීම සිදුකළ බවටයි සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.




















