BREAKING NEWS
Search

ඊශ්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට නීති දැඩිවේ

37

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා ගොස් සිටින කණ්ඩායම්වල ගැටලු පිළිබද සාකච්ඡා කිරීමට පී. අයි.බී.ඒ හෙවත් එරට ජනගහන, ආගමන හා දේශ සීමා පිළිබඳ අධිකාරියේ නිළධාරීන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

එහිදී ඔවුන් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියාවලට නව බදවාගැනීම් සදහා අයදුම්කරුවන් අත්සන් කළ යුතු ගිවිසුමක් පිළිබද සාකච්ඡා කරනු ඇති බවයි ඊශ්‍රායලයේ සිටින මෙරට තානාපති නිමල් බණ්ඩාර සදහන් කළේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රය සදහා මින් ඉදිරියට නව බදවාගැනීම් සිදුකරන්නේ නම් ඔවුන් සියලු දෙනා අදාල ගිවිසුමට අත්සන් කළ යුතු වනවා.

සිංහල සහ ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති එම ගිවිසුමේ රැකියාවේ වගකීම්, වැටුප් ඇතුළු සියලු තොරතුරු ඇතුළත් අතර, ගිවිසුම උල්ලංඝනය කළ අවස්ථාවක ඔවුන් යළි ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවට එහි දැක්වෙන බවයි තානාපතිවරයා පෙන්වා දුන්නේ.

ඊශ්‍රායලයේ බොහෝ වගා බිම් පිහිටා ඇත්තේ ගාසා තීරය, දකුණු ලෙබනනය හා පලස්තීනයේ බටහිර ඉවුරට ආසන්නයේ ඇති කාන්තාර බිම්වල අතර, ඒවායේ සේවය කිරීමට ශාරීරිකව ශක්තිමත් විය යුතු බවද තානාපතිවරයා කියා සිටියා.

එසේම, එරට දේශගුණ රටාවට අනුව සේවය කිරීමට හැකි විය යුතු වනවා.

මේ වනවිට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙරට සේවකයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අවශ්‍ය ශක්‍යතා මට්ටමට සරිලන පරිදි සේවය කිරීමට නොහැකි වීම හේතුවෙන්.

පසුගිය වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා සදහා 2756 ක් එරටට ගොස් තිබෙනවා.

ඉන් බොහෝ දෙනෙකු ඔවුන් යොදවන ලද වගා බිම්වලින් ඉවත් වී වෙනත් රැකියා සිදු කරන බැවින් වීසා අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා අයදුම්කර ඇති පිරිසක් පසුගියදා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණා.

ඒ ඔවුන්ට ඉතා පීඩාකාරී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීම හේතුවෙන්.

අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පවත්වනු ලබනවා.

ඒ වෙනුවෙන් 500ක පමණ පිරිසක් හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට කැඳවා තිබුණා.

කෙසේ වෙතත් ඊශ්‍රායල් කෘෂි පුහුණුවට ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියේ.

යුද හමුදාවේ සහයෙන් වෛද්‍යවරයෙකු හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම පරීක්ෂණ පැවැත්වූ අතර, ඒ සදහා ශ්‍රමිකයින්ගේ කැමැත්ත ද ලබා ගත් බව එම කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *