බෝට්ටුව අනතුරට පත්වීම නිසා දින හතළිහක් තිස්සේ යාත්‍රාව සමග මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයන් තිදෙනකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රී ලාංකික ධීවර පිරිසක් සමත් වී ඇත.
“බ්ලූ මූන්” නම් බෝට්ටුව මගින් සෝමාලියානු ධීවර බෝට්ටුවේ සිටි ධීවරයන් බේරාගෙන ඇත්තේ ගාල්ලේ සිට මුහුදු කිලෝමීටර් 625ක දුරකදීය.
බේරාගත් ධීවරයන් ගාල්ල ධීවර වරායට රැගෙන ඒම ඊයේ (05 දා) අලුයම සිදුවිය. මෙම ධීවරයන් ගාල්ලට රැගෙන ඒමට දින පහක් ගතවී ඇත. මෙම සෝමාලියානු ධීවරයන් තිදෙනා ඉදිරි කටයුතු සඳහා ආරක්ෂක අංශ වෙත (ගාල්ල වරාය පොලිසිය වෙත) භාරදීමට කටයුතු කරනු ලැබීය. සෝමාලියානු ධීවරයන් බේරාගත් “බ්ලූ මූන්” බහුදින යාත්‍රාවේ ස්කීපර් ඩබ්ලිව්. මහින්ද මහතා මෙසේ පැවැසීය.
“අපි ධීවර කටයුතු කරමින් සිටින අතරතුරේදී දුටුවා බෝට්ටුවක් පාවෙනවා. ළගට යද්දී දැක්කා එහි තිදෙනකු ඉන්නවා. අපි කතා කළා. ඒ අයට ඉංග්‍රීසිවත් තේරෙන්නේ නෑ. ඒ අය කිව්වා, සෝමාලියා, සෝමාලියා කියලා. අතින් කතා කළා. ඊට පසුව අපි අපේ යාත්‍රාවේ අයිතිකරුට කතා කරලා ඔහුගේ උපදෙස් අනුව තිදෙනා බේරාගෙන ගාල්ලට ගෙනාවා. මේ අයට අපේ ළඟ තියෙන කෑම දුන්නා. මේ අය අල්ලපු මාළු කකා වැස්සේ වතුර බිබී දින 40ක් මුහුදේ පාවෙමින් ඉඳලා තිබෙනවා. ගොඩබිමට ගෙනඑන්න දින 05ක් ගතවුණා” යැයි කීය.
“තෑන්ක් යූ ශ්‍රී ලංකන් ෆිෂර්මෙන්” යැයි අනතුරට ලක්වූ සෝමාලියානු ධීවරයෝ කීහ.
හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අහංගම – සුගතපාල දීයගහගේ සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්



















