සහල් අලෙවි කිරීමෙන් තමන් ඉවත් වන බව කොටගල එක්සත් වෙළෙඳ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් සදහන් කළේ, පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
මේ අතර, තවත් සතියකින් පමණ පසු උදාවන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ද පොංගල් පිළියෙල කර ගැනීමට නොහැකි අයුරින් වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණයක් වෙමින් පවතින බව පිටකොටුව සහල් තොග වෙළෙඳුන් චෝදනා කළා.
පවතින සහල් හිඟය හමුවේ ආනයනයට අවසර ලබා දුන් අතර, එය මේ මස 10 වැනිදායින් අවසන් වනවා.
සහල් ආනයනයට අවසර දුන් දින සිට මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 88,000ක් නිශ්කාෂණය කර තිබුණා.
කෙසේ වෙතත්, පසුගිය උත්සව කාල සීමාවේ මෙන්ම, අද වන විටත් වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති සහල් හිඟය තවදුරටත් එලෙසම පවතින බවයි වෙළදුන් ප්‍රකාශ කළේ.
මේ අතර, කොටගල ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කොටගල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් සදහන් කළේ, තම සංගමයේ ව්‍යාපාරිකයින් සහල් අලෙවි කිරීමෙන් ඉවත් වන බවයි.


















