ගීතය ජීවිතය කරගත් කොල්ලෝ පස්දෙනෙක් මේ දවස්වල සිනමාව ආක්‍රමණය කරලා තියෙනවා. සෝලෝ ටවුන් නමැති බෝයිස් බෑන්ඩ් එක හරහා පැමිණි මේ කොල්ලෝ අද තාරුණ්‍යයේ උමතුවක් බවට පත්වෙලා. ඒ අතරින් රවින් කනිෂ්කට හිමිවන්නේ ඉහළ තැනක්. දෙවැනි ඉනිමෙන් ආ රවීන් කණිෂ්ක අද සෝලෝ ටවුන් චිත්‍රපටයෙන් දැවැන්ත සිනමාවට පායලා. ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ හීන කුමාරයා වූ රවින් කනිෂ්කව ප්‍රථම වතාවට අපි ‘පිනිපලස’ හා එකතු කරගන්නවා.
සෝලෝ ටවුන් කියන්නෙත් ඔබේ ජීවිතය වගේ නේද?
ඇත්තටම ඔව්. මමත් සංගීතයට ගොඩක් ආදරය කරන කෙනෙක්. වෙනසකට තියෙන්නේ සෝලෝ ටවුන් කියන්නේ සංගීත කණ්ඩායමක්. මම තනිවම ආපු කෙනෙක්. නමුත් සෝලෝ ටවුන් කොල්ලන්ගේ අත්දැකීම් තමා මගේ ජිවිතෙත් තියෙන්නේ. තාරුණ්‍යයේ ඉන්නකොට මටත් තිබුණේ බලාපොරොත්තු විතරයි. සංගීතය වෙනුවෙන් හීන දැක්කා. මහන්සි වුණා. සෝලෝ ටවුන් වලින් මම මගේ ජීවිතේ දකිනවා.
කොහොමද සෝලෝ ටවුන්වලට සම්බන්ධ වෙන්නේ?
චිත්‍රපටයේ අධ්‍යක්ෂ චතුරංගන අයියා මම හඳුනන්නේ ඩ්‍රීම් ස්ටාර් කාලේ ඉඳන්. ඒ කාලේ ඉඳන් ඔහු සමග වැඩ කරනවා. ඔහු චිත්‍රපටයක් කරනවා කිව්වම මම කිව්වේ ඔයා කොහොම වැඩක් කළත් මම එනවා කියලා.
කවදා හරි සංගීතය ගැන කියැවෙන චිත්‍රපටයක රඟපාන්න හිතුවද?
මට මුලින්ම ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ චරිතයක් රඟපාන්න. මම හරියට ක්‍රිකට් ගහන්න දන්නෙත් නෑ. ඒ නිසා ක්‍රිකට් පුහුණු වෙන්නත් සිද්ධ වුණා. නමුත් සෝලෝ ටවුන් කියන්නේ මම දන්න දේ. වේදිකාව මට හොඳට හුරුයි. සංගීතය ජීවිතය වගේ. ඇත්තටම මේ ලැබුණ චරිතයට මම හරි කැමැතියි.
සංගීතය ජීවිතේ දැකපු හීනයක්ද?
ඇත්තටම මම හීන තරයේම විශ්වාස කරන කෙනෙක්. අද මම ගෙවන ජීවිතේ අවස්ථා ගණනාවකදීම මම මවපු හීන. අද ජීවිතේ රූපරාමු ඉස්සර මම දැකපු දේවල්. දැන් මම මෙතැන ඉඳන් ඒ දේවල් මතක් කරනකොට ඇඟ හිරිවැටෙනවා. මම ඔය ගැන හොයලා බැලුවා. අපි කාලෙක අනාගතය ගැන නිතර නිතර මවන හීන ඉෂ්ට වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒවා හිතලු නෙවේ. ඒ වෙනුවෙන් වැඩ කළොත් එතැනට යන්න පුළුවන්.
ඒ කියන්නේ ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් ස්ටේජ් එකේ ඉන්නවා ඔබ ඒ කාලේ දැක්කද?
දැවැන්ත වේදිකාවක සින්ග් කරනවා ඒ දවස්වල මම ඇඳේ නිදාගෙන ඉන්නකොට දකිනවා. කැමරාමන්ලා මාව ෆොටෝ ගහනවා. මම රතු පලසෙන් යනවා. ප්‍රේක්ෂකයෝ මගේ නම කියලා කෑගහනවා. මටත් වඩා හයියෙන් ඔවුන් මගේ ගීත ගයනවා. මේ ඔක්කොම එදා දැකලා ඒ වෙනුවෙන් තමා මම එදා ඉඳලම වැඩ කළේ. ඇත්තටම අද වෙනකම් මට වැරදිලා නැහැ. මවපු හැම හීනයකටම වඩා දේවල් ලැබිලා තියෙනවා.
මේ වෙනුවෙන් ලොකු කට්ටක් කෑවා නේද?
තාම ඒ කට්ට කනවා. හැම වෙලාවකම මම උත්සාහ කරන්නෙ මට ලැබෙන වැඩේ හරියට හොඳට කරන්න. මගේ පහසුවට වඩා අනෙක් අයගේ පහසුව ගැන තමයි මම හිතන්නේ. අදටත් මට ගෙදර ඉන්න වෙලාවක් නැහැ. කන්න බොන්න වෙලාවක් නැහැ. නින්දක් නැහැ. සැපවත් ජිවිතයක් ගත කරන්න මම තාමත් සූදානම් නැහැ. මහන්සි වෙලා වැඩ කරන එක ඇති කියලා හිතෙනකම් මට මේ කට්ට කනවා.
ඩ්‍රීම් ස්ටාර් අවසාන තරගයේ දෙවැනියා වීම පරාජයක්ද?
ලංකාවේ ලක්ෂ ගාණක් තරුණ තරුණියන් අතරින් දෙවැනි තැන ලබාගැනීම පරාජයක් කියලා මට කිසිම දවසක හිතිලා නැහැ. අද මම මෙතැන ඉන්නේ එදා දෙවැනියා වුණ නිසයි. මොන දේ ලැබුණත් එය ජයග්‍රහණයක් හැටියටයි මම දකින්නේ. මොකද පරාජය තුළින් තමා මම අඩුපාඩු හදාගෙන ජයග්‍රහණයට යන මාවත සකස් කරගත්තේ.
මේ සියල්ලම ඔබේ ටැලන්ට් එක නිසා නේද?
ටැලන්ට් එක ජයග්‍රහණයේ මුල්ම එක කියලා මම කවදාවත් හිතන්නේ නැහැ. ටැලන්ට් එක තියෙන්නේ හතරට පහට විතර. ලෝකේ ජයග්‍රහණය කරපු මිනිස්සු ළඟ ටැලන්ට් එකට වඩා තිබුණේ මොළේ. මොළේ නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ඕනම කෙනෙක් මොළේ කල්පනා කරලා තමන්ගේ හැඟීම් පාලනය කරගත යුතුයි. අද ටැලන්ට් මැනේජ් කම්පැනි තියෙනවා. ඒවයෙන් කට්ටිය ගොඩ දානවා. හැබැයි එයාලා කම්පැනිය නැති වුණ දාට හාගන්නවා. නිහතමානීව තමන්ගේ ගමන යන්න තමන් දැනගත යුතුයි. කිසිම අවස්ථාවක තමන් තමන්ව වෙනස් කර නොගත යුතුයි. ආප්පෙට මතක තියෙන්න ඕනේ චාත්තියේ උන්න හැටි.
ඔබට ඔබ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නේද?
ඇත්තටම මට ගුරුවරු නැහැ. නිවේදනය, ගායනය හා රංගනය තුළ මගේ ගුරුවරයා මමමයි. හරි ගියොත් මට. වැරදුණොත් මට. හැබැයි වැරදුණ තැන පාඩමක් කරගෙන ඉස්සරහට ආවා. මේ ඔක්කොම කළේ මම. හොඳට මතක තියාගන්න. තව කෙනෙක්ට පුළුවන් අපට උදව් කරන්න විතරයි. ගේම ගහන්න ඕනේ අපිම තමයි.
රවින්ට කටකතා අඩුයි නේද?
හොඳට උන්නත් නරකට හිටියත් කටකතා හැදෙනවා. නමුත් මම වැඩ කරන්නේ තව කෙනෙක්ට මට ඇඟිල්ල දික් කරන්න තිබෙන සීමාව අවම කරගෙන. පුවත් මවලා අනවශ්‍ය ලෙස මගේ පැත්තට අවධානය ගන්න මට ඕනෙ නැහැ. මම එක රැයින් උණුසුම් පුවත් මවන්නෙක් නෙවේ. එහෙම කරලා ප්‍රසිද්ධියක් ගන්න ඕනේ නැහැ.
ඔබට ටැලන්ට් ගොඩක් තියෙනවා නේද?
ඇත්තටම මාත් එක්ක වැඩ කරපු අනිත් අය නිසා තමා මම දැනගත්තේ මට ටැලන්ට් ගොඩක් තියෙනවා කියලා. ඒ අයත් එක්ක වැඩ කරනකොට තමා මගේ දක්ෂතා මතුවුණේ. ඒ තැන්වලදි මට මාව අභියෝගයක් කරගත්තා. උඹට මේක කරන්න පුළුවන් කියලා හිතාගත්තා. එහෙම තමා මම මාව ඉස්සරහට ඇදගෙන ආවේ.
වැඩ ගොඩක් කරනකොට මහන්සි දැනෙන්නෙ නැද්ද?
මාර මහන්සියි. හරිම කටුක අත්දැකීමක් විඳින්නේ. තාම මම සැපක් විඳින්නේ නැහැ. පොඩි කාලේ මට මොකුත්ම තිබුණෙ නැහැ. ඉතින් වැඩ කරන එක අඩු කළොත් මට බයක් දැනෙනවා පොඩි කාලේ වගේ පරණ ජීවිතයට යන්න වෙයි කියලා. ඇත්තටම ඒ හැඟීම හොඳ එකක් නෙවේ. නමුත් ඒක භීතිකාවක් වගේ මට දැනෙනවා.
ඔබ ළඟ තිබෙන දක්ෂතාවලින් වැඩියෙන්ම කැමැති කුමකටද?
මේ දවස්වල නම් මගේ කාලයෙන් වැඩි කොටසක් වෙන්වෙලා තියෙන්නේ රංගනයට. නමුත් මා තුළ තිබෙන හැම දක්ෂතාවයක්ම අද මගේ ජීවිතේට ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඒ නිසා හැම දේකටම ආදරෙයි. නමුත් ගායනයට දශමයක හරි වැඩි කැමැත්තක් තියෙනවා.
වේදිකාව තුළ ඔබ හරිම විශ්වාසනීය කෙනෙක් වගේ අපට දැනෙනවා….
කොච්චර කොහොම වුණත් කවදත් වේදිකාවට පය තියනකොට තාම චකිතයක් දැනෙනවා. මම මේක හරියටම කරන්නේ කොහොමද කියන චකිතය හිතට දැනෙනවා. මොකද අද දේ හරියට කළොත් තමා හෙට වැඩ ලැබෙන්නේ.
අද ඔබ ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගේ ආදරය ලබන චරිතයක් වෙලා.
මම උපයපු ලොකුම ධනය තමා ප්‍රේක්ෂක ආදරය සහ ප්‍රවීණයන්ගේ ආදරය. මම සාමාන්‍ය කෙනෙක් වගේ ගමේ ඉන්නකොට රූපවාහිනියෙන් සිනමාව දැකපු දැවැන්ත චරිතවලට පුදුම විදිහට ආදරය කළා, ගරු කළා. අද මම ඒ අය ළඟ ඉඳගෙන ඉන්නකොට මට මාවම කොනිත්තලා බලනවා මේක ඇත්තක්ද කියලා. ඒ තරම්ම මට ඒක පුදුමයි.
ආධුනිකයෙක්ට ලැබෙන ලොකුම ධනය තමා ප්‍රවීණයන්ගේ ඇසුර. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මොකද එයාලා දන්න කෙනෙක් නොවී ආදරය කරන කෙනෙක් වීම ගැන.
මහාචාර්ය සුනිල් ආරියරත්න ඔබව ක්ෂීර සාගරය කැලඹිලා චිත්‍රපටයට තෝරාගත් මොහොත කොහොමද දැනුණේ?
ක්ෂීර සාගරය කැලඹිලා තමා මගේ ප්‍රථම චිත්‍රපටය. ක්ෂේත්‍රයේ දවසින් දවස වැඩෙනකොට දක්ෂ අයත් සමග වැඩ කරන්න ආසාව හිතට ආවා. මම මගේ ෆෝන් එක දිහා නිතරම බලාගෙන උන්නා. ක්ෂේත්‍රයේ පතාකයෙක්ගෙන් ඇමැතුමක් එනකම්. මට ඒ ඇමැතුම ආවා. සුනිල් සර් කතා කරලා මේ වගේ වැඩක් කරමු කිව්වාම මට දැනුණේ ලෝකෙම දිනුවා වගේ හැඟීමක්.
ඔබට ජැක්සන් ඇන්තනි සමග රඟපාන්න ලැබුනා නේද?
ඒක හීනයක් වගේ. ජැක්සන් සර් මෙහෙම කරපන්, මේ විදිහට හිතපන් කියලා මට කියන විදිහ මැවිලා පේනවා. මට ඔහු ඇසුරු කරන්න ලැබුණ දවස් කීපය තුළ ලබපු දැනුම විශාලයි. ජැක්සන් සර් පේන මානේ ඉන්නකොට මම හරි නරක වැඩක් කරනවා. ඒ තමා සර් තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට ඒ කතාව ඇහෙන දුරින් මමත් ඉඳගන්නවා. ඒ ඇහෙන දේවල්වලින් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ජැක්සන් සර්ගේ හැම කතාවක් ඇතුළෙම ඔහු දැනුම විසි කරනවා කැමැති කෙනෙක්ට අහුල ගන්න. මමත් ඒ බොහෝ දේ අහුල ගත්තා.
ඔබට හේමාල් රණසිංහවත් මුණගැහෙනවා නේද?
හේමාල් කියන්නේ අපිට කලින් පරම්පරාවේ අපේ වීරයා. තිරයේ ඔහු තුළ තිබෙන ප්‍රතාපවත් බව සැබෑ ජීවිතයේත් තියෙනවා. ඒ පෞරුෂයට මම හරි කැමැතියි. මේ ක්ෂේත්‍රයේ ඉන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තේ හේමාල් අයියාගෙන්. මොකද මේකට එන එක ලේසියි, ඉන්න එක තමා අමාරු.
ජනප්‍රියත්වයේ සම්මානය ලබපු තරුවක් ඔබ. මොකද හිතෙන්නේ?
ඒක පිනක්. ප්‍රේක්ෂක ආදරය කියන්නේ මාර පිනක්. ඒක මට පුදුම විදිහට ලැබුණ පුදුම අවස්ථා තියෙනවා. ගෙදරටත් හොරෙන් කාටවත් නොකියා ඩ්‍රීම් ස්ටාර් තරගෙට සින්දු කියන්න ආපු මට ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ඉදිරිපත් කරන්න වෙනවා. ඩ්‍රීම් ස්ටාර් අවසන් තරගය නිවේදනය කර කර ඉන්නකොට තවත් සම්මාන උළෙලක ඩ්‍රීම් ස්ටාර් නිවේදනය වෙනුවෙන් ජනප්‍රිය පුරුකට හිමි සම්මානය මට ලැබෙනවා. ඩ්‍රීම් ස්ටාර් තරගයේ ස්ක්‍රීන් එකක මට ඒ සම්මානය දෙන දර්ශනය පෙන්වනවා. තාමත් මට ඒ සිදුවීම මතක් වෙනකොට ඇඟේ රෝම කූප කෙළින් වෙනවා. මීට වඩා දෙයක් ජීවිතේට තවත් කොහෙන්ද?
හොඳම නළුවාට හිමි සම්මානය ගන්නේ කවද්ද?
සම්මානයක් කියන්නේ ජීවිතේට ආශිර්වාදයක්. සම්මානවලින් ලැබෙන සතුට මුදල්වලින් ගන්න බැහැ. ඒක පිනක්. කෙනෙක් සතුටු කරපු නිසානේ මට සම්මානයක් ලැබෙන්නේ. බොහෝම පරිස්සමට යන ගමනේ හොඳම නළුවාට හිමි සම්මානයත් මම ලබාගන්නවා.
සොලෝ ටවුන් බෑන්ඩ් එකත් එක්ක දිගු ගමනක් යන්න කැමැති නැද්ද?
සෝලෝ ටවුන් බෑන්ඩ් එක දැන් හරිම ජනප්‍රියයි. හැබැයි මම පෞද්ගලිකව කණ්ඩායමක් සමග වැඩ කරන්න කැමැති නැහැ. මම කැමැතියි මගේ ගමන තනියම යන්න. අද කාලේ එකතු වෙලා දීර්ඝ වැඩ කරන එක අමාරු දෙයක්. මොකද විවිධ අදහස් තියෙන අය ඉන්නේ. මට වැරදුණොත් ඒක මට දරාගන්න පුළුවන්. නමුත් කණ්ඩායමක් හැටියට ඉන්නකොට වැරදුණොත් ඒක කොයි විදිහට විසඳෙයිද දන්නේ නැහැ. ඒ නිසා මගේ වැඩ මම තනියම කරගෙන යනවා. සෝලෝ ටවුන් බෑන්ඩ් එකේ මල්ලිලාට මගේ උදව්වක් අවශ්‍ය වුණොත් එදාට අනිවාර්යයෙන්ම මම එතැන ඉන්නවා.



















