නුවර ටියුෂන් සිසුන්ගේ සාක්කු හිස් කළ ලොකු අයියා පොලිස් දැලට හසුවෙයි..

41
ඔබත් මේ පැත්තේ පෞද්ගලික පන්තිවලට සහභාගී වෙන අයෙක් වෙන්න ඇති.. ඒ විතරක් නෙවෙයි, සමහරවිට මේ වංචාවලටත් හසුවෙලා ඇති..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි…

පෞද්ගලික පන්තිවලට සහභාගි වීම සඳහා මහනුවරට පැමිණෙන පාසල් සිසුන්ගේ ජංගම දුරකතන සොරාගැනීම ගැන කලක පටන් පැමිණිලි ලැබී තිබුණා… ඒ සම්බන්ධයෙන් විශේෂ කාරණාවක් දැනගන්නට ලැබි ඇත්තේ, මහනුවර පොලීසියට ලැබුණු පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ පසුවයි.. මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවර දළදා වීදියේ බේකරි නිෂ්පාදනය අලෙවි ස්ථානයක් තුළදී අදාළ පුද්ගලයා ජංගම දුරකතනයක් සොරාගැනීමට උත්සහ කරද්දීම අත්අඩංගුවට ගෙන තිබෙනවා…

කටුගස්තොට, කහල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු විසින් සොරකම් කර අඹතැන්න සහ අකුරණ නගරවල ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉතා අඩු මුදලකට විකුණා තිබූ ජංගම දුරකතන 15ක් සොයාගත් බව පොලීසිය පවසනවා….

දිනකට රුපියල් 9,000ක මුදලක් හෙරොයින් මත්කුඩු භාවිතය සඳහා වැය කරන සැකකරු සෙනග වැඩිපුර සිටින බස් රථවලට ගොඩ වී මගීන් අතර තෙරපෙමින් ගමන් බෑග්වල හා සාක්කුවල තිබෙන ජංගම දුරකතන හා මුදල් පසුම්බි සොරකම් කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, සැකකරු ජංගම දුරකතනයක් සොරාගත් වහා අකුරණට හෝ අඹතැන්නට ගොස් එය රුපියල් 5,000ක මුදලකට අලෙවි කරන බවත්, දිනක පානය සඳහා අවශ්‍ය මත්කඩු ලබගැනීමට ඔහු අනිවාර්යයෙන්ම ජංගම දුරකතන දෙකක් සොරාගැනීමට පුරුදුව සිට ඇති බවත් පොලීසිය පවසනවා…

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සැකකරු විවාහ වීමෙන් අනතුරුව කහල්ලේ පිහිටි බිරියගේ නිවෙසේ පදිංචියට පැමිණ ඇති අතර, සැකකරුගෙන් ලද තොරතුරු මත අකුරණ හා අඹතැන්න ප්‍රදේශවල ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙක පරීක්ෂා කිරීමේදී සැකකරුගෙන් අඩු මුදලට ගත් දුරකතන එහිදී කැබලි කර වෙනත් දුරකතන අලුත්වැඩියා කිරීමට ඒ කොටස් යොදාගන්නා බව අනාවරණය වී තිබෙනවා…

සොරබඩු මිලට ගැනීමේ චෝදනාව මත ජංගම දුරකතන අලෙවි ස්ථානයක පුද්ගලයකුද අත්අඩංගුවට ගත් බවත්, තවත් අයකු අත්අඩංගුවට නියමිත බවත් පොලීසිය පවසනවා..

දිනමිණ පුවත්පත ඇසුරෙන්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *