රාජකාරී ගිනිඅවියෙන් සිය බිරිඳ ඝාතනය කර තමා ද දිවි හානි කර ගැනීමේ අරමුණින් රාජකාරී ගිනිඅවිය සමග වරකාපොල වාරියගොඩ ප්‍රදේශයේදී පැනගිය නාවික හමුදා සෙබළකු නාරම්මල ප්‍රදේශයේදී ඊයේ (25 දා) අලුයම අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරක සේවය කරමින් සිටි නාවික සෙබළෙකි.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට 24 දා වැලිසර නාවික හමුදා කඳවුර දක්වා නිල ඇඳුම් තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා රියැදුරුට අමතරව එහි ආරක්ෂක නිලධාරියා වශයෙන් මෙලෙස අත්අඩංගුවට ගත් නිලධාරියා පැමිණ ඇත. මොවුන් දෙදෙනා වැලිසර දක්වා පැමිණෙන අතරතුර ආරක්ෂක නිලධාරියා තම නිවස නාරම්මල ප්‍රදේශයේ බවත් නිවැසියන් දැනුවත් කර කෑම පාර්සල් දෙකක් වාරියගොඩ ප්‍රදේශයට ගෙන්වා ගත හැකි බවත් රියැදුරුට පවසා ඇත.
පසුව තම ආරක්ෂක නිලධාරියාගේ අණට කීකරු වූ නාවික රියැදුරු වරකාපොළ පොලිස් වසමට අයත් අලව්ව වාරියගොඩ පරණ පාලම අසල ට්‍රක්රථය නවතා ඇත. එම අවස්ථාවේ සිය රාජකාරී ගිනිඅවිය සමග නිලඇඳුමින් සැරසී සිටි සෙබළා එම ස්ථානයෙන් අතුරුදන්ව ගිය බවත් ඔහු නැවත පැමිණෙන තුරු පැය කිහිපයක් ඒ අවට විපරම් කළත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් රියැදුරු මේ සම්බන්ධව වරකාපොල පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය පවසයි.
රාජකාරී නිල ඇඳුමින් සැරසී සිය රාජකාරී ගිනිඅවිය ද සමගින් ට්‍රක් රථයෙන් බැසගත් සැකකරු වාරියගොඩ ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයක නැග නාරම්මල ප්‍රදේශයේ පදිංචි තමාගෙන් වෙන්ව සිටින බිරිඳගේ නිවස අසලට ගොස් ගිනිඅවිය සමග සැඟව සිට ඇත. එහිදී බිරිය නිවසේ නොසිටි බව දැනගෙන ඇය නැවත රාත්‍රී එම ස්ථානයට පැමිණෙන තෙක් කැලෑ ස්ථානයක රැඳී සිටි ඇති බව සැකකරු පොලිස් නිලධාරීන්ට පවසා ඇත.
මෙම සැකකරු හා බිරිඳ නීතියෙන් වෙන්ව සිටින බවත් ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටින බවත් සැකකරු බිරිඳට මාස්පතා වන්දි මුදලක් ගෙවන බවත් වරකාපොල පොලිසියේ නිලධාරීන් වෙත ලබාදුන් ප්‍රකාශ අනුව අනාවරණය වන බවද පොලිසිය පවසයි.
ඒ අතර කාලයේ ට්‍රක් රථයේ රියැදුරු සිය මූලස්ථානයේ නිලධාරීන් අමතා සිද්ධිය දැන්වීමෙන් පසුව එම නිලධාරීන් සැකකරුගේ නිවසට දුරකථන මාර්ගයෙන් ඒ බව දැනුම් දී ඇත. ඒ සමග එම ප්‍රදේශයේම පදිංචි සැකකරුගේ සහෝදරයා සැකකරු අමතා ඔහු මෙවැනි වරදක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නාවික සෙබළුන් තම නිවසට පැමිණෙන බවත් පවසා තිබේ. පසුව සැකකරු සහෝදරයාගේ නිවසේ රැඳී සිටියදී නාවික හමුදා නිලධාරීන් විසින් ගිනිඅවිය තමන් භාරයට ගෙන සැකකරු නාරම්මල පොලිසියට භාරදී තිබිණ.
ට්‍රක් රථයේ රියැදුරු වරකාපොල පොලිසියට කළ පැමිණිල්ලට අනුව නාරම්මල පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසියට දැනුම් දීමෙන් පසුව වරකාපොල පොලිසියේ උපපොලිස් පරීක්ෂක රණවංශ මහතා ඇතුළු කණ්ඩායමක් නාරම්මල පොලිසිය වෙත ගොස් සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නාරම්මල හා වරකාපොල පොලිසිය එක්ව සිදු කරන බවත් වරකාපොල පොලිසිය පවසයි.
නෝමන් පලිහවඩන, වරකාපොල – සරත් ආනන්ද ලියනගේ


















