ලබන 20 වැනිදා දක්වා සහල් ආනයනය කිරීමට රජය අවසර දී තිබුණත් සහල් ආනයනය සීමා කිරීමට සිදුවන බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා.
ඔවුන් පවසන්නේ, ආනයනික සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල හෝ ආනයනික සහල් සඳහා පවති බද්ද හෝ ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.
පවතින සහල් හිඟයට විසඳුම් ලෙස සහල් ආනයනය කිරීමට අවසර දුන් රජය දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිල ගණන් පැනවීමට ද කටයුතු කළා.
ඒ අනුව, මේ වන විට දේශීය සහල් මෙන්ම ඇතැම් පෞද්ගලික ආනයනකරුවන් ගෙන්වූ සහල් වෙළෙඳපොළ වෙත ලැබෙමින් පවතිනවා.
කෙසේ වෙතත් වෙළෙඳුන් පවසන්නේ, ආනයනික සහල් උපරිම සිල්ලර මිලට අලෙවි කිරීමට අපහසු තත්ත්වයක් මතුව ඇති බවයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පැවසුවේ, මෙට්‍රික් ටොන් 50,000ක් පමණ ආනයනය කිරීමට අපේක්ෂා කර තිබුණත්, ආනයනික සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල හෝ ආනයනික සහල් සඳහා පවතින බද්ද හෝ ඉවත් කිරීමට රජය කටයුතු නොකළොත් ඉන් 25% පමණ ආනයනය නොකර සිටීමට සිදුවනු ඇති බවයි.



















