BREAKING NEWS
Search

කළුවරේම සබන් ගාලා නාන්න ගිය සැමියා මුහුණ දුන් අකරතැබ්බය

643
විදුලිය විසන්ධිකර තිබූ රාත්‍රියේ දිය නෑමට ගිය සැමියාට සිරුරේ ගාන  සබන් කෑල්ල වෙනුවට වැරදීමකින් වෙනත් සබන් කැටයක් ගෑමෙන් සිරුර පුරා කැසීමට ලක්වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුවීමේ පුවතක් මීරිගමට නුදුරු ගමකින් අසන්නට ලැබිණි.
රජයේ ආයතනයක විධායක නිලයක් දරන සැමියා නිවෙසට එද්දී රෑ බෝවී තිබිණි. රජයේ රැකියාවක නිරත බිරිය සිටියේ කුස්සියේ වැඩ කරමිනි. විදුලිය නැති නිසා ඇය ආලෝකය ලබාගත්තේ ඉටි පහනක ආධාරයෙනි. නිවසේ වූයේද එක් ඉටි පහනක් පමණි.
දැන් ලයිට් එයිනේ ඒ හින්දා මම ඉටිපන්දමක් ගේන්න කඩේට ගියේ නෑ බිරිය සැමියාට කීවාය. නිවසට ආ සැමියා දරු දෙපළ සමඟ කාලය ගත කර දිය නාගැනීමට වත්ත පහළ ළිඳට යාමට සැරසුණේ කළුවරේමය. අනේ මට සබන් කෑල්ල දෙන්නකෝ සැමියා ඉල්ලුවේය. බිරිය සබන් කෑල්ල ගෙනවිත් අතට දුන්නාය. වත්ත පහළ ළිඳට ගිය සැමියා දිය නෑවේය. සබන් ගාද්දී වෙනසක් දැනිණි. කළුවර නිසා කිසිත් පැහැදිලි නැත.
ඉක්මන් ගමනින් දිය නා නිවසට ආ ඔහු සබන් කෑල්ල බාල්දිය සමඟම තැබීය. ටික වේලාවක් ගත වෙද්දී සිරුර පුරා කසන්නට වූයේය. ඔහු ඒ බව බිරියටද කීවේය. පණුවෙක්වත් ගෑවෙන්න ඇති කී ඇය බෙහෙත් පෙත්තක්ද දුන්නාය. එහෙත් කැසිල්ල අඩුවක් නැත. මෙසේ කල් ගත වෙද්දී විදුලිය ලැබිණි.
රෑ කෑමෙන් පසු බිරිය කුස්සියේ කටයුතුවල යෙදුණාය. වළං පිඟන් සෝදන්නට ගිය ඇය ඒ සඳහා ගන්නා සබන් කැටය දක්නට නොවූයෙන් විමසිලිමත් වූවාය. අනේ ඔයා සබන් කෑල්ල තිබ්බේ කොහේද ඇය ඇසුවාය. බාල්දියේ බලන්න සැමියා කීවේය. බාල්දිය පිරික්සූ ඇයට සැමියාගේ කැසිල්ලට හේතුව තේරුම් ගියේය.
වහා දිවගෙන ආ ඇය කිසිත් නොකියා සැමියා සමඟ වෛද්‍යවරයකු ළඟට කැඳවා ගියාය. සැමියාගේ කැසිල්ල ගැන වෛද්‍යවරයාට කී ඇය ඊට හේතු වන්නට ඇත්තේ තමන්ට වූ වැරදීම නිසා වෙන්නට ඇතැයිද කියද්දී සැමියාට සිදුවූ සියල්ල තේරුම් ගන්නට ලැබිණි.
කෙසේ හෝ බිරියට සිදුවූ අත්වැරැද්ද නිසා සැමියා පුරා සතියක් තිස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලැබීය. දින දෙක තුනක් රාජකාරියට යාමෙන්ද වැළකී සිටියේය.
ලංකාදීප



Leave a Reply

Your email address will not be published. Required fields are marked *