මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් ඉඩම් 31ක් පමණ මේ වන විට තහනමට ගෙන තිබෙන බවත්, ඔවුන්ට අයත් විදේශවල තිබෙන වත්කම් පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශන මෙහෙයවන බවත්, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටියා.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
තවත් සැකකරුවන් තුන්දෙනෙකු මේ වන විට විදේශගතව සිටින අතර, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා අදාළ ආයෝජනය ක්‍රමයේ මුදල් තැන්පත් කර මුදල් අහිමි වූ පුද්ගලයින් 865 දෙනෙකු විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.
ඒ අනුව, මේ වනවිට සමස්තයක් ලෙස පැමිණිලි 2017ක් ලැබී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ඒ තුළින් ඔවුන්ට අහිමි වූ තැන්පත් මුදල්වල වටිනාකම රුපියල් බිලියන 2.96ක් ලෙස ගණන් බලා තිබෙන බවත් පැවසුවා.
තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ඉන් සැකකරුවන් දෙදෙනකුගේ පරීක්ෂණ කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් දැනුම් දුන්නා.
මෙම සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් දේපළ ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඒවා හඳුනාගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියා.
ඊට අමතරව මෙම සැකකරුවන්ට අයත් ඉඩම් 31ක් තහනමට ගෙන තිබෙන බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.
මෙහිදී මහේස්ත්‍රත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සැකස් කළ යුතු බවයි.
ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 05 වැනිදා යළි කැඳවන ලෙසත්, එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත්, මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

















