කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ සිදුව තිබූ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය පවසනවා.
කලාවැව, වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඊයේ (08) රාත්‍රියේ පුද්ගල මළ සිරුරක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
එහිදී අනාවරණය වුණේ ඝාතනයට ලක්ව ඇත්තේ, විජිතපුර, වලව්වේගම ප්‍රදේශයේ පදිංචිව සිටි නාවලගොඩ ලියද්දේ ගෙදර තිලක් වීරසිංහ නමැති 37 හැවිරිදි එක්දරු පියෙකු බවයි.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාට අයත් බව කියන වලව්වේගම ප්‍රදේශයේ පිහිටි නිවසක කාමරයක් තුළ තිබී එම මළ සිරුර සොයාගත් අතර, මළ සිරුර හමුවූ නිවස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවලක් සඳහා කුලියට ලබා දී තිබූ එකක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පෙරේදා සවස තමන් පදිංචි නිවසේ සිට කුලියට ලබා දී තිබූ මෙම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණී අවස්ථාවේදී කුලියට ලබා දී තිබූ නිවස තුළදී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත්, නිවෙස් හිමියාගේ සිරුර හමුවූ එම නිවසේ කුලියට සිටි යුවලද සිද්ධියෙන් පසු එම නිවස අතහැර පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
අදාළ නිවසේ කුලී පදනම මත සිටි පුද්ගලයෙකු හා මියගිය පුද්ගලයාද ඇතුළු පිරිසක් පෙරදින රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, එම අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූයේද යන්න සම්බන්ධයෙන් විමර්ශනද සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම කුලී නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවල අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, ඔවුන් හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචි බව කියන වයස අවුරුදු 39ක හා 29ක් වන අඹුසැමි යුවලක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එළෙස අත්අඩංගුවට ගත් යුවල කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.




















