BREAKING NEWS
Search

පුතා විසින් පියා, මව සහ සහෝදරිය ඝාතනය කළ බිහිසුණු සිදුවීමක්

1206

පියා මව සහ දියණිය ඔවුන්ගේ පුත්‍රයා විසින් ඝාතනය කර ඇති පුවතක් ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, මෙසේ ඝාතනය කර ඇත්තේ, 51 හැවිරිදි රාජේෂ් කුමාර්, 46 හැවිරිදි ඔහුගේ බිරිඳ කෝමල් සහ ඔවුන්ගේ 23 හැවිරිදි දියණිය කවිතා බවයි.

රාජේෂ් සහ කෝමල්ගේ පුත් අර්ජුන් (20) මෙම ඝාතනය සම්බන්ධයෙන් පවසා ඇත්තේ, තමන් උදෑසන ඇවිදීමට පිටත්ව ගිය බවත්, ඔහු පෙරවරු 5.30ට පමණ නැවත පැමිණෙන විට මළ සිරුරු සොයාගෙන ඇති බවයි.

මළ සිරුරු දුටු අසල්වාසීන් පවසා ඇත්තේ ඔවුන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවටයි.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එදින මෙම යුවළ සිය 27 වැනි විවාහ සංවත්සරය සමරමින් සිට ඇති බවයි.

අසල්වැසියෙකු පවසා ඇත්තේ, අර්ජුන් සිය මව්පියන්ගේ සංවත්සරයට සුබ පතා ව්‍යායාම සඳහා පිටත් වූ බව ඔවුන්ට පැවසූ බවය.

මළ සිරුරු සොයා ගැනීමෙන් පසු පොලිසිය CCTV කැමරා දර්ශන පරීක්ෂා කර ඇති අතර, නිවසට පිටතින් කිසිවකු ඇතුළු වූ බවට දැක නොමැති බවටයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ.

පොලිසිය සඳහන් කර තිබෙන්නේ, වැඩිදුර විමර්ශනයේදී අර්ජුන්ගේ ප්‍රකාශයන්හි පරස්පරතා රාශියක් මතුව ඇති බැවින් ඔහුව සැක සහිත බවක් පෙනෙන්නට තිබූ බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු මිනීමැරුම් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවයි.

අර්ජුන් ඔහුගේ පාසල් අධ්‍යාපනය යුධ හමුදා පාසලකින් හදාරා ඇති අතර, මේ වනවිට ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක් ද වනවා. තවද මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු පුහුණු බොක්සිං ක්‍රීඩකයෙකු ද වන බවටයි.

ඔහුගේ පියා හිටපු හමුදා සෙබළෙකු බවත්, අධ්‍යාපනික කටයුතු සහ වැඩකටයුතු සම්බන්ධයෙන් ඔහුට නිතරම බැණ වදින බවත්, අර්ජුන් පොලිසියට පවසා ඇත.

ඔහු පාපොච්චාරණය කර ඇත්තේ, ඔහුගේ පියා පසුගියදා ඔහුට කෑ ගසා පහර දී අසල්වාසීන් ඉදිරියේ ඔහුට නින්දා කර ඇති බවත්, පවුලේ කිසිවකු තමාට සහයෝගය නොදක්වන බව ඔහුට හැඟී ගිය හෙයින් සිය මව්පියන්ගේ සහ සහෝදරිය කෙරෙහි වෛරයක් ඇති කර ගත් බවටයි.

ඔහුගේ පියා සිය දේපළ සිය සහෝදරියට ලබා දීමට අවශ්‍ය බව දැනගත් විට අර්ජුන් කෝපයට පත් වූ බවත්, එම නිසා ඔවුන් ඝාතනය කළ බවත්, ඔහුගේ පාපොච්චාරණයේ වැඩිදුරටත් සඳහන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *