BREAKING NEWS
Search

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට නිල වාහන නෑ. ඒ වෙනුවට දෙන්න යන දේ මෙන්න

405

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  ප්‍රකාශ කළේය.

රජයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක් ලබා දෙනවා වෙනුවට ඔවුන් භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි එම නිලධාරියා පැවැසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීම හේතුවෙන් රජය එම තීරණය ආපසු හරවාගෙන ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් අමාත්‍යාංශ රාජකාරී කටයුතු සඳහා අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නිල වාහනයක් ලබාදීමට රජය ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක වන බව එම නිලධාරියා පැවසුවේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම නිල වාහනයක් ලබා දීමට රජය ගත් තීරණයට විරුද්ධ පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වූ අතර තමන්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිල වාහනයට සමාන වාහනයක් ඉල්ලා සිටින බව ඇතැම් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

තමන් තේරී පත්වූ මැතිවරණ බල ප්‍රදේශයට රාජාකරි කටයුතු සඳහා ගමන් කිරීමට වාහනයක් අවශ්‍ය බැවින් රජය ලබාදීමට තීරණය කර තිබූ නිල වාහනය ලබා ගැනීමට කැමති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආන්නද විජේපාල මහතා අප පුවත්පතට ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය මෙම රජය මගින් ලබා නොදෙන බවයි. සෑම වසර 5 කට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් නොවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. එසේම අමාත්‍යවරුන් සඳහා නව වාහන ආනයනය නොකරන බවද ඔහු පැවැසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *