BREAKING NEWS
Search

6 දෙනෙකුට ජීවිත අහිමි කළ අයහපත් කාලගුණය ගැන අද ඇසෙන කතාව

406
මේ කියන්න යන්නේ පවතින අයහපත් කාලගුණය ගැන අද ඇසෙන කතාවයි..
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) දින පෙරවරු 02.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබෙනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

දිවයිනේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවිය හැකි බව සඳහන්.

ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (60-70)ක පමණ ඉතා තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 21 ක පවුල් 98,635 ක පුද්ගලයින් 330,894 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

මේවන විට මරණ 06ක් වාර්තා වී ඇති බවයි ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

එසේම පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් නිකවැරටිය, හලවත, ආරච්චිකට්ටුව, බිංගිරිය, වාරියපොල සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස‍යි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *