BREAKING NEWS
Search

ජය මංගල ගාථා නැති, රථ පෙළහර නැති, ආචාර වෙඩිමුර නැති දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද ඇරඹෙන්නේ මෙහෙමයි…

219

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් (21) විවෘත කිරීමට නියමිතයි.

ඊට අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (20) පැවැත්වුණා.

හෙට පෙරවරු 9.55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පෙ.ව. 10.00 ට රැස්වීමට නියමිත අතර සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව සඳහන් කළේ.

පළමුව කථානායකවරයා තෝරා ගැනීම සිදුවෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4, 5 සහ 6හි විධි විධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා තෝරා පත්තර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කර ගැනීම සිදු කරන බවද සඳහන්.

පළමු දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවීම විශේෂත්වයක්.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33 ව්‍යවස්ථාවල විධිවිධාන ප්‍රකාරව පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ජය මංගල ගාථා ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ චිත්‍රධාරි කුෂාන් ජයරත්න පවසනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *