BREAKING NEWS
Search

පච්චයක් නිසා දෙකඩ වුණ විවාහයක් ගැන අගනුවරින් ඇහෙන කතාව

853

“අනේ සර් මට මේ මිනිහා එක්ක තවත් ජීවත් වෙන්න බෑනේ. දෙන්න තියෙන වද තිස් දෙකම මට දෙනවා. මට මෙයාගෙන් අයින් වෙන්න ඕනේ..” භාග්‍යයා මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේ හඬා වැටෙමින් කියන්න ගත්තාය.

”සර්.. මටත් මේ ගෑණි එක්ක ඉන්න ඕනේ නැහැ. ප්‍රතිපත්තියක් නැති ගෑනියෙක් මෙයා.” භාග්‍යාගේ සැමියා රුවන්ත එහෙම කිව්වේ දැඩි ස්වරයකින්.

භාග්‍යය රු වන්තයි විවාහ වුණේ මීට වසර 3 කට උඩදීයි. භාග්‍යාගේ වැඩිහිටියෝ මේ විවාහයට මුලදී වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. විවාහ වෙලා වසර දෙක තුනක් ගියාට පස්සේ වැඩිහිටියොත් මෙම විවාහය පිළිගත්තා.

ඒත් මේ ලස්සන පවුලට කණකොකා හඬන්න වැඩි දවසක් ගත වුණේ නැහැ. රුවන්ත නිතර නිතර භාග්‍යයා එක්ක රණ්ඩු වෙන්න ගත්තා. ටික කාලයක් යද්දි මේ දෙදෙනාටම එකට පවුල් කන එක වහ කදුරු වගේ වුණා. අන්තිමේදී මේ ප්‍රශ්නය මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා ඉදිරියට ගියා.

” දැන් කියන්න බලන්න තමුන්ට මොකද මේ තමුන්ගේ බිරිඳ එපා වෙලා තියෙන්නෙ කියලා. මෙච්චර ලස්සන බිරිඳක් එපා කියන මිනිහා කවුද ? “ මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා විමසුවා.

“සර් මේ ගෑනි මට ලොකු බොරුවක් කළා. මෙයා එයාගේ අතේ පච්චයක් කොටා ගෙන ඉන්නවා. ඒක කොල්ලෙක්ගෙ නමක් “රුවන්ත කිව්වා.

මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා භාග්‍යාගේ අතේ තිබුණු පච්චය පරික්ෂා කළා. ඒකෙ කොටලා තිබුණෙ රුවන්ත කියලා.

” ඉතිං මනුස්සයෝ මේ අතේ කොටලා තියෙන්නේ තමුන්ගේ නම නේ රුවන්ත කියන්නෙ තමුන් නේද ? “ මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා රුවන්තගෙන් ප්‍රශ්න කළා.

” ඔව් සර්. දැන් තියෙන්නෙ මගේ නම තමයි. ඒත් ඔය පච්චෙ ඉස්සර කොටලා තිබුණේ රුවන් කියලා. මෙයාට මාව හම්බ වුනාට පස්සේ එයා රුවන් කියන එකට ත අකුර කොටාගෙන රුවන්ත කියලා පච්චෙ හදාගෙන තියෙනවා. මං මුලින්ම හිතුවේ මෙයා මට තියෙන ආදරේ වැඩිකමට රුවන්ත කියලා පච්චය කොටාගෙන කියලා. “

රුවන්ත සිද්ධ වෙච්ච දේ මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා ඉදිරියේ කියන්න වුණා.

ඒ කතාව ඇහුවට පස්සෙ මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයාටත් තරු විසිවුණා. ” මෙයා කියන්නේ ඇත්ත ද ? තමුන් පච්චය වෙනස් කරගත්තාද ? “මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා භාග්‍යයාගෙන් ප්‍රශ්න කලා.

” ඔව් සර් මං කලින් යාළුවෙලා හිටිය රුවන් කියල බෝයි කෙනෙක් එක්ක. එයාට තිබුණු ආදරය නිසාම මං රුවන් කියලා එයාගේ නම මගේ අතේ පච්ච කොටා ගත්තා. කාලයක් යද්දී මට රුවන්ව එපා වුණා. මං එයාගෙන් ඈත් වුණා. මං අතේ තියෙන පච්ච මකා ගන්න විදිහක් තිබුනෙ නෑ. මාත් එක්ක යාලුවෙන්න කොල්ලො සෑහෙන ගානක් ට්‍රයි කළා. ඒත් මං රුවන්තව තෝරාගත්තෙ එයාගේ නම නිසා. මොකද අතේ තියෙන පච්චයට ත අකුරු කෙටුවම රුවන්තගේ නම් සම්පූර්ණ වෙනවා. ඒ නිසයි මං එයා එක්ක විවාහ වෙන්න තීරණය කළේ. සර්.. මෙයාගේ අතේ මගේ නම භාග්‍යයා කියලා පච්ච කොටලා තියෙනවා. “ භාග්‍යා සිද්ද වෙච්ච හැම දෙයක්ම මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා කිව්වා.

මේක පච්ච ප්‍රශ්නයක්. මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා ඔළුවෙ අත ගහගෙන කල්පනා කළා. “මේ ගෑනි මට මෙහෙම දෙයක් කරයි කියලා මම හිතුවේ නෑ.. මෙයාගේ ගමේ ගිය වෙලාවේ ගමේ කොල්ලෙක් තමයි ඔය පච්චේ ගැන කිව්වේ. මෙයා කලින් යාළුවෙලා හිටිය කොල්ලගෙ නම රුවන්. එයා අතේ නම පච්ච කොටාගෙන ඉන්නව කියලා. මෙයා හම්බ වෙලා දවස් දෙක තුනක් යද්දී මට මේ පච්චේ පෙන්නුවා. රුවන්ත කියලා එයා අතේ පච්ච කොටාගෙන ඉන්නව දැක්කම මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම මම හිතුවේ මෙයා මට ආදරේ වැඩිකමට රුවන්ත කියලා පච්ච කොටාගෙන කියලා. ඒ නිසාම මං එයාගෙ නම භාග්‍යයා කියලා අතේ පච්චයක් කොටා ගත්තා. මං වගේ මෝඩයෙක්වත් නෑ.. “ රුවන්ත එයාගේ කතාව කිව්වා.

” දැන් තමුන්ලා මේ ප්‍රශ්නෙ නිසා ආරවුල් ඇති කරගන්න එපා. හොඳ පවුල් ජීවිතයක් ගත කරනවානෙ. මේ නිසා ඉදිරියට ජීවිතය ලස්සන කරගන්න උත්සාහ කරන්න.” මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා රුවන්තටත් භාග්‍යාටත් අවවාද කලා.

“අනේ සර් මට මේ ගෑනිගෙ අතීතයට පච්චේ දකින දකින ගානේ ලේ කෝප වෙනවා. මට තවත් මේ ගෑනි එක්ක දීග කන්න බැ’හැ. රුවන්ත භාග්‍යයා එක්ක යන එක ප්‍රතික්ෂේප කලා. දැන් තමුන් මොකද කරන්නේ ? මූලස්ථාන ප්‍රධාන පොලිස්වරයා භාග්‍යයාගෙන් විමසුවා.

”සර් මගේ නමට තියෙනවා රුවන්තිකා කියලා කොටසක් රුවන්ත කියන නම රුවන්තිකා කියලා පච්චය වෙනස් කරගන්නවා. මට තවත් මිනිස්සු එක්ක යන්න බැහැ. “ භාග්‍යා එහෙම කිව්වේ රුවන්ත එක්ක තවදුරටත් පවුල් කන එක නතර කරන්න පොරොන්දු වෙමින්.

තමුන්ට මොනවද කියන්න තියෙන්නේ ? මෙයාව බිරිඳ විදියට තවදුරටත් තියාගන්න බැරිද ?

“අනේ මට එපා සර්. මේ ගෑනිව මං අතේ තියෙන භාග්‍යයා කියන නම වෙනස් කරල අභාග්‍යා කියලා පච්චෙ කොටා ගන්නවා. ඇත්තටම මේ වගේ ගෑනු අපේ ජීවිතවලට අභාග්‍යයක් තමයි සර්.” එහෙම කියලා රුවන්ත පොලීසියෙන් පිටවෙලා ගියා.

උපුටා ගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *