ලෝකාන්තය යනු විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ප්‍රදේශයකි.
සීතල දේශගුණයත් මනරම් කඳුවැටිවල සුන්දරත්වයත් ගලා යන මීදුමේ පහස විඳින්නටත් පුංචි ලෝකාන්තයට එන පිරිස් අතිමහත්ය. ඉකුත්දා එම පාරිසරික සුන්දරත්වය එකවරම පහව ගියා සේ හැඟුණේ පුද්ගලයකු මරා පුංචි ලෝකාන්තයෙන් පහළට විසි කිරීමත් සමඟය.
මෙලෙස ඝාතනය වූයේ සුජීවන් නමැති හාලිඇළ, රොසට් වතු යායේ පදිංචිව සිටි 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු සතුව ත්‍රිරෝද රථයක්ද තිබූ අතර, ඔහු හාලිඇළ නගරයේ වාහන අමතර කොටස් අලෙවිසලක සේවය කළේය.
ඒ, ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදාය. සුජීවන්ගේ පියා උදෑසන නැඟිට බලන විට සුජීවන් පෙනෙන්නට නොවීය. තවදුරටත් විපරම් කරද්දී විවේකානන්දන්ට වැටහුණේ සුජීවන්ගේ ත්‍රිරෝද රියද නිවෙසේ නැති බවය. මින් ඔහු කලබලයට පත්විය.
“තාත්තෙ අයියා මඟුල් ගෙදරක යනවයි කියලා ගියා! දවස් දෙක තුනක් එන්න වෙන්නේ නැහැයි කිව්වා!” සුජීවන්ගේ සොහොයුරිය පියාට කීවාය.
“කොහේද යනවයි කිව්වේ?”
“යන තැනක් කිව්වේ නැහැ. හැබැයි වෙඩින් එකකට යනවා කියලා තමයි කිව්වේ…”සුජීවන් මෙලෙස ගමන් ගිය අවස්ථා බොහෝය. සමහර දාට දින දෙක තුන ඔහු ගෙදර ආවේ නැත. දියණියගේ වචනය විශ්වාස කළ විවේකානන්දන් නිහඬ විය.
දින පහක් පමණ ගතවිය. සුජීවන් ගෙදර ආවේ නැත. මෙය සුජීවන්ගේ පියාට මහත් ගැටලුවක් විය.
“මෙච්චර දවස් මෙයා ගෙදර නෑවිත් ඉන්නේ නැහැ. මොකක් හරි කරදරයක්වත්ද?”විවේකානන්දන් හිතුවේය. සුජීවන් ගැන කෙතරම් සොයා බැලුවද ඔහු ගැන කිසිදු තොරතුරක් නොවූ තැන ඔහු කෙළින්ම ගියේ හාලිඇළ පොලිසියටය. හාලිඇළ පොලිස් ස්ථානාධිපති ගුණතිලක, විවේකානන්දන්ගෙන් ප්‍රශ්න කළේය. එහිදී සුජීවන්ගේ පියා ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ මෙවැන්නකි.
“පුතා ත්‍රීවීල් එක දයාලන් කියලා කෙනෙක්ගෙන් ලක්ෂ තුනහමාරක් දීලා තමයි ගත්තේ. දහ දහස් පන්සීය ගාණේ වාරික 36ක් ගෙවන්නත් තිබුණා. පහුගිය දවස්වල එයාට ඔය වාරික ගෙවන්නත් බැරිවයි හිටියේ…”
‘පුතායි ත්‍රීවීලර් එකයි දෙකම නැති නිසා අපි මෙයා ගැන හෙව්වා. එතකොට අපිට ආරංචි වුණා ත්‍රීවීලර් එක බදුල්ල පැත්තේ ෆිනෑන්ස් කොම්පැනියකට විකුණලා කියලා. අපි ත්‍රීවීලර් එක ගත්ත දයාලන්ව හම්බවෙන්න ගිහින් ඒකේ ඇත්ත නැත්ත ඇහැව්වා..”
“එතකොට දයාලන් කිව්වා පුතා කවුදෝ ගෑනු ළමයෙක් එක්ක ආවා. එයා මට ත්‍රීවීලර් එක ලක්ෂ පහකට වික්කා. එයත් එක්ක ආව ගෑනු ළමයා තමයි සල්ලි ගත්තේ කියලා. මේ තියෙන්නේ ඒ රිසිට් එක කියල මට රිසිට් එකකුත් පෙන්නුවා. සුජීවන් අපිත් එක්ක සෙල්ෆියකුත් ගැහැව්වා. එයා අපිට කිව්වා ඒ දෙන්නා කසාද බඳින්න කියලා ගෙදරින් පැනලා යනවා කියලා. මම ලක්ෂ හතරයි අසූවක් එයාගේ අතටම දුන්නා. තව විසිදාහක් මම දෙන්න ඕනෑ. එයා සල්ලිත් අරගෙන ගියා. මම ත්‍රීවීලර් එක ෆිනෑන්ස් කම්පැනියට විකුණුවා කියලා දයාලන් අපිට කිව්වා සර්…”සුජීවන්ගේ පියා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය.
ඒ අනුව පොලිසියේ සැකය එල්ල වූයේ දයාලන් වෙතටය. පොලිසිය දයාලන් කැඳෙව්වේය. ප්‍රශ්න කළේය. ඔහු පොලිසියට කීවේද සුජීවන්ගේ පියාට කී දේමය. පසුව පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහු මුදා හැරියේය.
කෙසේ වෙතත් පොලිසිය දයාලන් ගැන තවදුරටත් සෙව්වේය. ඒ අතර ස්ථානාධිපතිවරයාට තවත් තොරතුරක් ලැබුණේය. ඒ, දයාලන් වස පානය කිරීම නිසා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවය. දයාලන් වස පානය කිරීම නිලධාරීන්ට ගෙනදුන්නේ සැකයකි.
ස්ථානාධිපතිවරයා ඒ බව දැනගැනීම සඳහා දයාලන්ගෙන් ප්‍රශ්න කළේය.
“සර්, ඊයේ මට කෝල් එකක් ආවා. ඒ කතා කරපු කෙනා මට කිව්වා සුජීවන් ඉන්නවා එයා එක්කරගෙන යන්න වරෙන් කියලා. මම එයා හොයන්න ගියා. එතකොට පස් දෙනෙක් ඇවිත් මට හොඳටම ගහලා වස පෙව්වා.ඔහු කී දේ ස්ථානාධිපතිවරයා විශ්වාස කළේ නැත.
“උඹ වහ බිව්වනම් කටේ තුවාල එහෙම තියෙන්න එපැයි. හරි කෝ දියන්කෝ උඹට කෝල් එක ආව නම්බරේ?”ස්ථානාධිපතිවරයා දයාලන්ගෙන් විමසීය. ඔහු ඊට නිසි පිළිතුරක් දුන්නේ නැත.
“සර්… ඒක මගේ අතින් ඩිලීට් වෙලා. මට මතකත් නැහැ සර් ඒ නම්බරේ” දයාලන් කියන්නේ බොරුවක් බව ස්ථානාධිපතිවරයාට වැටහුණේය.
නිලධාරීහු එය ඇත්තක්දැයි දැනගැනීම සඳහා හාලිඇළ වෙළෙඳසල් අවට සීසීටීවී කැමරා නිරීක්ෂණය කළහ. එම කැමරාවල දයාලන් එක් වෙළෙඳසලකට ඇතුළුවන අයුරු සටහන් වී තිබිණි. නිලධාරීහු ඊළඟට වෙළෙඳසල් හිමිකරුගෙන් ප්‍රශ්න කළහ.
එවිට ඔහු පැවැසුවේ පුද්ගලයකු පැමිණ වස කුප්පියක් මිලදී ගත් බවය. සීසීටීවී කැමරා රූපරාමු පෙන්වීමේදී ඒ දයාලන් බව වෙළෙඳසල් හිමිකරු පොලිසියට කීවේය. පොලිසිය නැවැත දයාලන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය. එවර දයාලන්ගේ හැසිරීමේ වෙනසක් ස්ථානාධිපතිවරයා දුටුවේය.
එම ප්‍රශ්න කිරීම් හමුවේ දයාලන්ට නිහඬව සිටීමට බැරි විය. ඔහු ඇත්ත කියන්න පටන් ගත්තේය.
“සර්… මගේ කොළඹ යාළුවෙක් ඉන්නවා සුදාහරන් කියලා. මිනිහා බිස්නස් කරලා ලොස් වෙලා හිටියේ. එයා දවසක් මාව හම්බවෙන්න ආවා. ඇවිත් මොනවා හරි ගේමක් ගහන්න ඕනෑ අතේ සල්ලිත් නැහැ කීවා.”
“මම කිව්වා මම ලක්ෂ තුනහමාරකට මගේ ත්‍රීවීලර් එක එකෙකුට වික්කා. උෟ හරියට ෆිනෑන්ස් ගෙවන්නෙත් නැහැ. මට ඒක ආයෙත් ගන්න ඕන කියලා. එතකොට සුදාහරන් කිව්වා අපි උෟව බය කරලා ගමුයි කියලා.”
“එහෙම කියලා අපි ත්‍රීවීලර් එක උස්සන්න ප්ලෑන් එකක් ගැහැව්වා. තිස් වැනිදා මම සුජීවන්ට කතා කරලා කිව්වා නිධානයකින් ගත්තු මැණික් වගේකුයි, රත්තරන් වගයකුයි තියෙනවා වැල්ලවායෙ කෙනෙක් ළඟ. වරෙන් අපිත් එක්ක යන්න කියලා. මිනිහා මගේ කීමට තිස් වැනිදා රෑ මඩොල්සිම බාර් එක ළඟට ආවා”
“මම හිටියේ සුදාහරන් එක්ක. අපි නිධානයේ බඩු ගන්න කියලා එයාගේ ත්‍රීවීලර් එකට නැග්ගා. එතකොට වෙලාව රෑ 12.30ට විතර ඇති. කොයි පැත්තෙන්ද යන්නේ කියලා සුජීවන් ඇහැව්වා. අපි කිව්වා පුංචි ලෝකාන්තය පැත්තෙන් යමු කියලා. ඒ හරියට එනකොට පාන්දර එක පහුවුණා. මීදුම නිසා පාරවල් පෙනුණේත් නැහැ. හතර වටේම කළුවරයි.
“එතැනදී මම සුජීවන්ට කිව්වා පාරෙ යන්න බැහැ මීදුම නිසා පාර පේන්නෙත් නැහැනේ අපි බැහැලා ටිකක් පයින් ඉස්සරහට යමු කියලා.” සුජීවනුත් අපිත් එක්ක ආවා.
මම සුජීවන්ට කිව්වා මගේ යාළුවෙක්ගෙන් අපි මැණික් පතලක් ගන්නවා. අපි ඒක උඹේ නමට ගන්නම් කියලා. උඹ මේ කොලේට අස්සන් කරපන් කිව්වා. උඹටත් අපි ගාණක් දෙන්නම් කිව්වා. සුජීවන් ඒ කොළේ තිබුණු මුද්දර උඩ අස්සන් කළා. අපි ඒ කොළේ ප්ලෑන් කරලා හදාගෙන ආවේ. පස්සේ අපි කිව්වා මේක උඹ ගත්තා කියලා උඹේ ෆොටෝ එකකුත් ගන්න ඕන කියලා. අපි සුජීවන් එක්ක සෙල්ෆියකුත් ගත්තා. එතකොට සුජීවන් බය වුණා.
“පස්සේ මම කිව්වා උඹේ ත්‍රීවීලර් එක මට ඕනෑ. උඹ හරියට ෆිනෑන්ස් ගෙවන්නෙත් නෑ කියලා. සුජීවන් කිව්වා ඒක දෙන්න බැහැ කියලා. එතැනදී තමයි රණ්ඩුව ඇති වුණේ. අපි සුජීවන්ට ගැහැව්වා. ‘නකල්’ එකකිනුත් ගැහැව්වා. සුජීවන් බිමට වැටුණා. අපි හිතුවා සුජීවන් මැරෙන්න ඇති කියලා. පස්සේ තමයි අපි දෙන්න සුජීවන්ගේ කකුල් දෙකෙනුයි අත්දෙකෙනුයි උස්සලා අරන් තුන් පාරක් පද්දල ලෝකාන්තයෙන් පහළට දැම්මේ.”දයාලන් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය.
“කෝ උඹලා අස්සන් කරගත්ත කොළේ?”ස්ථානාධිපතිවරයා විමසුවේය. දයාලන් එම කොළ කැබැල්ල ඔහු අතට දුන්නේය. මැණික් පතලක හිමිකාරිත්වයක් එහි සඳහන් නොවීය. සුජීවන් අස්සන් කර තිබුණේ රුපියල් ලක්ෂ පහකට ගත් ත්‍රීවීලරය දයාලන්ට විකුණ බව සඳහන් ලියවිල්ලකටය.
“කවදද උඹලා උෟව ලෝකාන්තයෙන් පල්ලෙහාට දැම්මේ?”
“පළමු වැනිදා පාන්දර දෙකට විතර ඇති. සර්…”
“උඹට උෟව දාපු තැන පෙන්වන්න පුළුවන්ද?”
“පුළුවන් සර්…”
“කවුද උඹත් එක්ක හිටිය අනිත් එකා? උෟ කොහේද ඉන්නේ?”
“සර්… සුදාහරන් ඉන්නේ මඩොල්සිම.” දයාලන් ස්ථානාධිපතිවරයා හමුවේ කීවේය.
සිද්ධිය ගැන වහා කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දැනුම් දීමට හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගත්තේ ඉන් පසුවය. පසුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද දැනුවත් කළේය. ඔවුන්ගේ උපදෙස් අනුව අත්අඩංගුවට ගත් දයාලන් මඩොල්සිම පොලිසිය වෙත භාරදීමට නිලධාරීන්ට සිදුවිය. ඒ, පුංචි ලෝකාන්තය ප්‍රදේශය මඩොල්සිම පොලිස් වසමට අයත් වූ නිසාය.
එතැනින් එහාට විමර්ශන ඇරැඹුවේ මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින්ය. ස්ථානාධිපතිවරයා දයාලන්ගෙන්, සුදාහරන් ගැන විමසුවේය. ඒත් ඔහු ඉන්න හිටින තැනක් දයාලන් දැන සිටියේ නැත.
සුජීවන් මරා පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ මොවුන් ත්‍රීවීලරයද රැගෙන කෙළින්ම ගොස් ඇත්තේ බදුල්ලටය. එහිදී මූල්‍ය ආයතනයකට ත්‍රීවීලරය විකුණූ ඔවුන් රුපියල් ලක්ෂ හයක් ලබාගෙන තිබිණි. ඉන් ලක්ෂ තුනක් දයාලන් ගත් අතර ලක්ෂ දෙකයි හැත්තෑ පහක් සුදාහරන්ට දී තිබුණේය. ඔහු එම මුදලද රැගෙන මඩකළපුව බලා ගියේය. ඒ නිසා සුදාහරන් කොටුකර ගැනීම පොලිසියට අසීරු විය.
දයාලන් මඩොල්සිම පොලිසියේ රඳවා ගත්තේ පැය 48ක රැඳවුම් නියෝග මතය. ඒ දීර්ඝ ලෙස ප්‍රශ්න කොට සුදාහරන් සොයා ගැනීම සඳහාය. ඒ අතරදී දයාලන්ගේ ජංගම දුරකථනය නාද විය.
“ඒ කවුද?”නිලධාරීහු විමසූහ.
“සුදාහරන් සර්…”
“හරි කතා කරපන්!”
උඹ පොලිසියේ ඉන්නවා කියන්න එපා!”ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව දයාලන් සුදාහරන්ට පිළිතුරු දුන්නේය.
“මට ලොකු වැඩකට ලක්ෂ දෙකක් ඕනෑ’ මට ලක්ෂ 2ක් ණයට දීපන් මම උඹට පොලියකුත් එක්ක දෙන්නම්.”නිලධාරීහුද සුදාහරන්ගේ කතාව අසා සිටියහ.
“ලක්ෂ 2 දෙන්නම් කියලා එයාට මඩොල්සිම ටවුමට එන්න කියපන්.”ස්ථානාධිපතිවරයා දයාලන්ට කීවේය. දයාලන්ද ස්ථානාධිපතිවරයා කී ආකාරයටම සුදාහරන්ට පිළිතුරු දුන්නේය.
“හරි එහෙනම් මඩොල්සිම ටවුමට වරෙන්” දයාලන් කීවේය. නිලධාරීහු මඩොල්සිම නගරයට වී සුදාහරන් බලාපොරොත්තුවෙන් සිටියහ. දයාලන්ට පොරොන්දු වූ පරිදි සුදාහරන් පැමිණියේය. ඒ සමඟම නිලධාරීහු සුදාහරන්ව අල්ලා ගත්හ. නිලධාරීහු ඔහුගෙන්ද ප්‍රශ්න කරන්නට වූහ. ඔහු දයාලන් කී දේම අකුරක් නෑර පොලිසියට කීවේය.
“හරි සුජීවන් ලෝකාන්තයෙන් පහළට දාපු තැන උඹලට පෙන්නන්න පුළුවන්ද?”
“පුළුවන් සර්…”ඒ ඉකුත් 14 වැනිදාය.
දෑතට දැමූ මාංචුද සමඟ නිලධාරිහු දයාලන් සහ සුදාහරන් ලෝකාන්තය දෙසට රැගෙන ගියහ. දෙදෙනා සුජීවන් ප්‍රපාතයෙන් පහළට විසි කළ ස්ථානය නිලධාරීන්ට පෙන්වූහ. සුජීවන් පහළට දමනු ලැබ තිබුණේ මඩොල්සිම සිට කිලෝමීටර් 18ක් පමණ දුරින් පිහිටි එළමාන ප්‍රදේශයේ සිට බව නිලධාරීන්ට වැටහිණි.
“ඒක දැවැන්ත ප්‍රපාතයක්. සැරින් සැරේ වහිනවා. දරාගන්න බැරි සීතලක් තියෙන්නෙ. මුළු පළාතම මීදුමෙන් වැහිලා. උඩින් ප්‍රපාතයට බහින්න අමාරුයි. පහළ පේන්නේම නැහැ. අපි ලෝකාන්තය පහළට ගිහින් පහළ ඉඳන් උඩට එන්න හැදුවා. අපේ පොලිසියේ නිලධාරීන් පස් දෙනකුයි එළමාන ගමේ දෙන්නකුයි තමයි අපේ කණ්ඩායමේ හිටියේ. ඒ අය පහළ ඉඳල උඩට ආවා. ඒත් වැඩිදුරක් යන්න ලැබුණේ නැහැ. ලොකු ගල්පරයක් තියෙනවා. ඒකෙ උඩහට යන්න අමාරුයි. රූස්ස ගස්. ගලේ දියසෙවලත් බැඳිලා නිසා උඩහට යන්නම බැහැ. ඒ නිසා ගමන නතර කරල ආමි එක ගෙන්නගන්න තීරණය කළා.”
සුජීවන්ගේ මළ සිරුර සොයා ගැනීමේ මෙහෙයුම ඇරැඹූ ආකාරය මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිවරයා පැහැදිලි කළේ එලෙසය. ඒ අනුව පසුදා (15දා) එළදළුව කඳවුරේ හමුදා භටයන් සිද්ධිය වූ ස්ථානයට කැඳවනු ලැබිණි. එම හමුදා කාණ්ඩයට නිලධාරීහු සහ භටයෝ 10 දෙනෙක් ඇතුළත් වූහ. එම ගමනද ඉතා දුෂ්කර විය.
“ඒ අය උඩ ඉඳලා ප්‍රපාතය පහළට බහින්න හැදුවා. තද මීදුම අධික ශීතලත් නිසා ඒ වැඩෙත් හරි ගියේ නැහැ. එයාලා ගාව ප්‍රපාතයේ පහළට බහින උපකරණ තිබුණේ නැහැ. පොලිසියේත් ඒ උපකරණ නැහැ. පස්සේ තමයි තීරණය කළේ කොමාන්ඩෝ එකට කියමු කියලා.
ඒ අනුව දිශා භාර නියෝජ්‍ය පොලිස්පති සහ කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කිරීමෙන් පසු පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිලධාරීන් මේ බව පැවැසුවේය.
ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයාට සැලකිරීමෙන් පසු යුද හමුදාපතිවරයා විසින් සුජීවන්ගේ මළ සිරුර සොයා ගැනීම සඳහා උෟව කුඩාඔය කඳවුරේ කොමාන්ඩෝ පුහුණුව ලත් භට කණ්ඩායමක් මඩොල්සිම පොලිසිය වෙත එවීමට පියවර ගත්තේය. එම කණ්ඩායමට භටයන් 10 දෙනකු ඇතුළත් වූ අතර එහි නායකත්වය ගත්තේ කපිතාන් ජයසිංහය. ප්‍රපාතයකින් පහළට බැසීමට මනාව පුහුණුව ලත් නිලධාරීහු ඉකුත් 16 වැනිදා උදෑසන පුංචි ලෝකාන්තයෙන් පහළට බැසීම සඳහා මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සමඟ එළමාන ප්‍රදේශයට ගියහ. ඔවුන් කඳවුරෙන් පිටව තිබුණේ අලුයම 5.30ට පමණය.
“අපි 9.10ට විතර එළමානට ගියා. 9.55ට තමයි කොමාන්ඩෝ කට්ටිය ප්‍රපාතයෙන් පහළට බහින්න පටන් ගත්තේ. කැප්ටන් කන්ද උඩ හිටියේ. කඹ ආධාරයෙන් තමයි පහළට බැස්සේ. තද සීතලක් තිබුණා. මීදුමත් තිබුණා. හැබැයි වැස්සෙ නම් නැහැ.”
“මීට ඉස්සෙල්ලා අපි කරපු සෝදිසියේදී අපිට තොප්පියක් හම්බ වුණා. ඒක සුජීවන්ගේ කියලා තහවුරු වුණා. ඒ නිසා අපි හිතුවා සුජීවන්ගේ බොඩි එකත් ඒ හරියෙම රැඳිලා ඇති කියලා.
කඹ ආධාරයෙන් හතර දෙනෙක් පහළටම බැස්සා. ප්‍රපාතය උඩ ඉන්න කැප්ටන් එක්ක ගුවන් තරංග මඟින් එයාලා සම්බන්ධ වෙමින් තමයි ප්‍රපාතයෙන් පහළට බැස්සේ.
මීටර් 150ක් විතර බහිනකොට එයාලට සුජීවන්ගේ බොඩිය දැකගන්න ලැබිලා තියෙනවා. කැප්ටන්ට මේ බව දැනුම් දීලා එයාගේ උපදෙස්වලට අනුව තමයි සුජීවන්ගේ බොඩිය උඩහට ගන්න සූදානම් වෙලා තියෙන්නේ.
බොඩිය දෙකට තුනට කැඩිලා තියෙන්නේ කියලා කිව්වා. ඉණෙන් පහළ කොටස විතරක් පේන්න තියෙනවා කිව්වා. පස්සේ තමයි කැප්ටන්ගේ නියෝගයට අනුව සුජීවන්ගේ බොඩියේ කොටස් පැක් කරලා (බහාලුමක) උඩට එව්වේ. කොහොම හරි සේරම ඉවර වෙලා කොමාන්ඩෝ කට්ටිය ආයෙත් ප්‍රපාතයෙන් උඩට එද්දී දවල් 2ට විතර ඇති.” විමර්ශන නිලධාරියක් සඳහන් කළේය.
එලෙස ගොඩට ගැනුණු දෙකට කැඩී ගිය සිරුර සුජීවන්ගේ බව හඳුනා ගැනුණේ සිරුරේ තිබූ ඇඳුම්වලිනි. ඒ වන විටත් සුජීවන්ගේ සිරුර දිරාපත් වී තිබිණි. ඒ ඔහුගේ සිරුර සොයා ගන්නා විටත් දින 16ක් පමණ ගෙවී ගොස් තිබූ නිසාය.
සුජීවන්ගේ සිරුරේ කොටස් ගොඩ ගනිද්දී සුදාහරන් සහ දයාලන් ඇසිපිය නොගසා ඒ දෙස බලා සිටින අයුරු නිලධාරීන්ට දැකගත හැකිවිය.
සුජීවන්ගේ සිරුරේ කොටස් සොයා ගැනීමෙන් පසු සැකකරුවන් දෙදෙනාගෙන් යළි ප්‍රශ්න කිරීම ඇරැඹුණු අතර දයාලන් දුන් ප්‍රකාශයට අනුව සුජීවන්ගේ සෙරෙප්පු කුට්ටම දයාලන්ගේ සොහොයුරියකගේ නිවෙසේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
අපරාධයක් කොතෙක් සඟවන්නට හැදුවද කවදා හෝ හෙළිවන බව සුජීවන්ගේ ඝාතනයෙන් මනාව පැහැදිලි වේ. සුජීවන් මරා පුංචි ලෝකාන්තයෙන් පහළට විසිකොට ඔහුගේ මරණය සදා අබිරහසක් කර නීතියෙන් බේරීමට උත්සාහ කළ අපරාධකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා හමුදාව කළ කැපකිරීම ඉහළ බලධාරීන්ගේ පැසසුමට ලක්විය.
කීර්ති මෙන්ඩිස්



















