BREAKING NEWS
Search

ලාබෙට ගුවන් ටිකට් පතක් ලබාගන්නේ මෙහෙමයි

92

අද රටේ තියෙන ආර්ථික අර්බුදයත් සමග විදෙස්ගත වන ප්‍රමාණය ඉහළ යමින් තිබේ. රැකියාවකට හෝ අධ්‍යාපනයට හෝ පදිංචියට හෝ වේවා පිටරටකට යන්න ඉන්න ඕනෑම කෙනෙක්ට ඒ හීනේ හැබෑ වුණත් ආර්ථිකමය වශයෙන් අසීරු විය හැකියි. රට යන හීනේ කොයිතරම් සුන්දර වුණත් විය පැහැදම් ප්‍රමාණය හිතන තරම් සුන්දර නැහැ. මේ නිසා ඕනෑම අයෙක් කැමැතියි මේ යන ගමනේ දී තමන්ගේ පසුම්බියට වාසියක් වෙනවානම්. විශේෂයෙන්ම පිටරටකට යන විට වීසා පහසුකම ලැබී ගුවන් ටිකට් පත් වෙන්කර ගැනීමේ සිටම දැරිය යුතු වියදම් පිළිබඳව අපට අවබෝධයක් තිබීම වැදගත්ය. ඒ පිළිබඳ මූලික අධ්‍යයනයක් කරන්නේ නම් ඔබේ මුදල් වඩාත් සුරක්ෂිත ලෙස කළමනාකරණය කරගත හැකිය. අපේ නොදන්නා කම නිසාම බොහෝ වෙලාවට ගුවන් ගමන්වලදී අනවශ්‍ය වියදම් දැරීමට සිදු වේ. මේ නිසාම අද සිහින දේශය තුළින් කතා කරන්නට සිතුවා වියදම් අඩු කරගෙන කොහොමද ගුවන් ගමනකට මුහුණ දෙන්නේ කියන කාරණාව. මේ ගැන අපට කියන්න ඉදිරිපත් වුණේ නිම් සිසිල් දමයන්ත. රුසියාවේ උසස් අධ්‍යාපනය හදාරා මේ වන විට ග්‍රීන් කාඩ් ලොතරැයි ජයග්‍රහණය කර ඇමරිකාවේ පුරවැසිභාවය හිමි කරගත්තෙක්. ඉතින් ඔහුගේ අත්දැකීම් සමග මේ පිළිබඳ තොරතුරු අපට කිව්වේ මෙහෙමයි.

‘‘මුල්ම වතාවට රට යන කෙනෙක්ට මෙන්ම විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට වියදම අඩුකර ගන්න ක්‍රම කිහිපයක්ම තිබෙනවා. මම මුලින්ම මේ පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒකෙන් මට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් වූණා වගේම මම අත්දැකීමෙන් ගොඩක් දේ දැනගත්තා. මම කැමැතියි ඒ දේවල් බෙදාගන්න. මොකද තව කෙනෙක්ට ඒක අනිවාර්‌යෙන්ම ප්‍රයෝජනවත් වේවි.’’

විදෙස්ගත වන විට අපි හිතන ප්‍රධානම දේවල් කීපයක් තිබෙනවා. මම මේ කියන්නේ වීසා පහසුකම ලැබුණාට පස්සේ අපි කරන දේවල් ගැන. ඒ තමයි ගුවන් ටිකට්පත් වෙන් කර ගැනීම, ගෙනයන ඇඳුම් පැලඳුම් සකස් කර ගැනීම මෙන්ම අපට අත්‍යවශ්‍ය අනෙකුත් ද දෑ පිළියෙළ කර ගැනීම. මේ හැම දෙයක්ම අපට සූක්ෂමව හිතන්න වෙනවා.

මුලින්ම බලමු කොහොමද ගුවන් ටිකට් පත වෙන්කර ගැනීමේදී අපිට වාසි වෙන විදිහට මේ දේ කරගන්නේ කියන කාරණාව.

රට යන ඕනෑම කෙනෙක්ට ප්‍රධානම වශයෙන් අවශ්‍ය වන දේ තමයි ගුවන් ටිකට්පත කියන්නේ. කෙනෙක් ඒජන්සි එකක් හරහා විදෙස් ගත වනවා නම් බොහෝවිට ඒජන්සි එකෙන්ම ටිකට්පත් ලබා දෙනවා. එහෙම නැතුව යන කෙනෙක්ට ගුවන් ටිකට්පත තමන් විසින්ම වෙන් කර ගැනීමට සිදුවෙනවා. ගුවන් ටිකට්පත් ලබාගන්නා ක්‍රම දෙකක් තියෙනවා. පළමුවැන්න තමයි ඔන්ලයින් හරහා වෙන් කරවා ගැනීම, අනෙක ඒජන්සියක් හරහා වෙන්කරවා ගැනීම. පරිගණක හා අන්තර්ජාල දැනුම තියෙන කෙනකුට ඔන්ලයින් ගුවන් ටිකට්පත් වෙන් කර ගැනීම වඩාත් පහසුයි. නමුත් ආවට ගියාට ටිකට් වෙන් කරගන්නේ නැතුව පොඩි කාලයක් අරගෙන අධ්‍යයනයක් කරානම් ගොඩක් වැදගත්.

අපිට අපේ ගමනාන්තවලට ආකාර දෙකකින් ළඟා වෙන්න පුළුවන්. එක්කෝ එක් ගුවන් යානයක ගමනාන්තය දක්වාම ගමන් කිරීම (derect flight). නැත්නම් ගුවන් යානා කිහිපයකින් ගමනාන්තයට ළඟා වීම ( transit flight). ගුවන් යානා කිහිපයකින් යාමේ දී අපට ගුවන් තොටුපොළවල් කිහිපයකම නතර වීමට සිදු වෙනවා.

මෙතනදි වැඩිපුරම සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ අපි යන රටට කෙලින්ම එක ගුවන් යානයක් මගින් (derect flight) යන්න පුළුවන්ද කියන කාරණාව. හැබැයි යුරෝපයට ඇමරිකාවට වගේ යනවනම් ඩිරෙක්ට් ෆ්ලයිට් (derect flight) අඩුයි. මැද පෙරදිග හා ආසියා රටවලට යනවා නම් එක ගුවන් යානයකින් කෙලින්ම ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන්. මොන රටකට ගියත් ඩිරෙක්ට් ෆ්ලයිට් (derect flight) එකක යන්න තියෙනවනම් වඩාත් පහසුයි. හැබැයි ඩිරෙක්ට් ෆ්ලයිට්වල (derect flight) මිල ගණන් ට්‍රාන්සිට් ෆ්ලයිට් (transit flight) මිල ගණන්වලට වඩා වැඩි වෙන්න පුළුවන්. ඔන්ලයින් ගුවන් ටිකට්පත් වෙන්කර ගන්න කෙනෙක්ට වෙබ් අඩවි කිහිපයක් හරහා මිල ගණන් සොයා බලන්න පුළුවන්. ඒ සඳහා ස්කයිස්කැනර් (skyscanner), ට්‍රිප් ඩොට් කොම් trip.com, ෆයින්ඩ් මයි ෆෙයාර් (findmyfare),ගූගල් ෆ්ලයිට් (google flights) වගේ වෙබ් අඩවි සුදුසුයි. මේවගෙන් විතරක් නෙවෙයි ගුවන් සමාගම්වල වෙබ් අඩවි හරහාත් ටිකට් පත්වල ගණන් වගේම තවත් තොරතුරු දැනගැනීමේ හැකියාව තිබෙනවා. මේ ගුවන් ටිකට්පත් වෙන් කර ගැනීමේදී මිල විතරක් නෙවෙයි ෆ්ලයිට් ඩියුරේෂන් (flight duration) එකත් බලපානවා. එනම් ගුවන් යානයකින් තවත් ගුවන් යානයකට මාරු වීමේදී කාලය පැය විස්සක් වගේ තිබුණොත් අපිට පැය විස්සක් වගේ කාලයක් අතරමැද ගුවන් තොටුපොළකට වෙලා බලා සිටීමට සිදුවෙනවා. එය වියදම් පැත්තෙන් වාසිදායක වෙන්න පුළුවන් නමුත් අපේ මහන්සිය වැඩියි. මේ විදිහට ගුවන් යානා හුවමාරුවකදී ගතවන කාලය වැඩිවෙන්න වැඩි වෙන්න ටිකට් එකේ මිල අඩු කරගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම හුවමාරු ප්‍රමාණය වැඩිවෙන තරමටත් ටිකට් පත් මිල අඩුවෙනවා. අපි ඒජන්සි එකක් හරහා ටිකට් පතක් වෙන්කරවා ගන්නවා නම් ඒජන්සියෙන් මේ සියලුම තොරතුරු පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම දවස් කීපයකට මිල ගණන් වෙනස් වෙන විදිහත් පැහැදිලි කරනවා.

අනෙක් කාරණාව තමයි අපේ ගමනාන්තය අනුවත් අපට ගුවන් ටිකට් පත්වල මිල අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි යන්නේ රටක ප්‍රධාන ගුවන්තොටුපළකට නම් උදාහරණයක් විදිහට ලන්ඩන් හීත්‍රෝ (london hethrow), නිව් යෝර්ක් ජෝන් එෆ් කෙනඩි (new york john f kennedy), ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොළ (dubay international airport), සෝල් අන්තර්ජාතික ගුවන්තොටුපොළ (seuol international airport) වගේ රටවල ප්‍රධාන ගුවන්තොටුපොළවල්වලට නම් ගුවන් ටිකට්පත්වල මිල වැඩියි. නමුත් ඒ නගරවලම අනෙක් කුඩා ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් තියෙනවනම් ඒවායේ ටිකට් මිල ප්‍රධාන ගුවන්තොටු​ෙපාළවල මිලට වඩා අඩුවෙන්න පුළුවන්. ප්‍රධාන ගුවන්තොටු​ෙපාළවල්වල ගුවන්යානා පාලන මිල වැඩියි. ඒ දේවලුත් ටිකට් එකට එකතු වෙනවා මේ නිසා මේ දේවල් හොයලා බැලුවොත් තමන්ගෙ මුදල් ඉතුරු කරගෙන ගුවන් ටිකට්පත් වෙන් කරගන්න හැකියාව තියෙනවා.

ඒ වගේම ටිකට් එක වෙන් කරවා ගන්නා දිනයත් මිල අඩු වැඩි වීමට බලපානවා. අපි විදෙස්ගත වෙන්න ගොඩ කාලෙක ඉඳලා බලන් ඉන්නවා නම් ගමන් ගන්න තියෙන දවසට මාස තුනකට වගේ කලින් ටිකට්පත වෙන්කර ගන්නවා නම් හොඳයි. මොකද යන්න තියෙන දවස් ළං වෙන්න ළං වෙන්න ටිකට් පතේ මිල ගණන් වැඩිවෙනවා. ඒකට හේතුව වෙන්නේ ගුවන් යානයේ ආසන වෙන්වෙලා අවසානයේ ඉතුරු වෙන ආසන ටිකට අවසාන මොහොතේදී ඉල්ලුම වැඩිවෙන නිසා.

තවත් කාරණාවක් තමයි ටිකට් වෙන් කරවා ගැනීමේදී සතියේ දවස්වලට ගමන් ගන්න එක වඩාත් හොඳයි. සති අන්තය වගේම සඳුදා සහ සිකුරාදා දවස්වල ටිකට් මිල ගණන් වැඩිවෙන්න පුළුවන්. මේ නිසා අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා වගේ දවස්වල ටිකට් වෙන් කරගන්න උත්සාහ කරන්න. අපට මිල ගණන් වෙනස් වෙන විදිය වෙබ් අඩවි වලට ගිහින් බලන්න පුළුවන්. අපි පිටත් වෙන දවස වෙනස් කරමින් මිල අඩු වැඩි වෙන විදිය හඳුනගන්න පුළුවන්. දැන් ගොඩක් වෙබ් අඩවිවල අපිට පහසුකම් සලසලා තියෙනවා මේ දේවල් වෙනස් වෙන විදිහ බලාගන්න.

ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි ටිකට් එකත් වෙන්කරවා ගන්නකොට අපි බලන්න ඕනේ ඒකට ඇතුළත් වෙන්නේ මොනාද කියලා. බජට් එයාර්ලයින්ස්වලින් බොහෝ වෙලාවට ටිකට් එකට ඇතුළත් කරන්නේ හෑන්ඩ් ලැගේජ් එක විතරයි. කෑමවත් ප්‍රධාන ගමන් මලුවත් ඒකට ඇතුළත් වෙන්නේ නැහැ. මේ නිසා අනිවාර්යෙන්ම බලන්න ඕන ටිකට් එකේ මොනවද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. අපට අවශ්‍ය දේවල් තියෙනවනම් අමතරව එකතු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ටිකට්වලට ඇතුළත් වෙලා නැත්නම් අමතර ගමන් මල්ලක් වගේ එකතු කරගන්න පුළුවන්. කෑමත් ඒ වගේමයි. විශේෂයෙන්ම ටිකට් එක වෙන් කර ගැනීමේදී කෑම ජාති අපිට අවශ්‍ය විදිහට තෝරගන්න පුළුවන්. ඒවගේම තමයි පිටත් වෙන්න පැය හැත්ත දෙකකට කලින් අපට අවශ්‍ය විදිහට ඒ දේවල් වෙනස් කර ගන්නත් අවස්ථාව තියෙනවා.

ගොඩක් ගුවන් සමාගම්වල මුලින්ම ටිකට් වෙන් කරද්දි කැමැති ආසනයක් තෝරාගන්න ඉඩ දෙන්නේ නැහැ. අපිට විශේෂ ආසනයක් අවශ්‍ය නම් ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ගමන පිටත් වෙන්න පැය 48කටත් හැත්ත දෙකකටත් වගේ කාලයක්ට කලින් ගෙවීමක් නොකරම ආසන තෝර ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිසා අපට අත්‍යවශ්‍යම නැත්නම් ටිකට් එක වෙන් කරන වෙලාවෙම මුදල් ගෙවා ආසනයක් තෝරා ගැනීම අනවශ්‍ය වියදමකි. එතනිනුත් අපිට ගානක් ඉතුරු කරගන්න හැකියාව තිබෙනවා.

ටිකට් මිලදී ගැනීම වගේම තවත් කාරණා කීපයක්ම තිබෙනවා විශේෂයෙන්ම අපි ගෙනියන ඇඳුම් පැලඳුම් ගැනත් සැලකිලිමත් වුණොත් හොඳයි. උදාහරණයක් විදිහට අපි යන්නේ ශීත කාලගුණයක් තියෙන රටකට නම් ලංකාවේ ශීත කාලයට ද තියෙන ඇඳුම් අරගෙන යන එක තේරුමක් නැහැ. මොකද මෙහේ තියෙන ශීත කාලගුණයට අඳින ඇඳුම් ඒ ඒ රටවල රටවලට නොගැළපෙන්න පුළුවන්. ඒ ඒ රටවලවලට ගැළපෙන ඇඳුම් තියෙන්නේ ඒ රටවල්වල. අනික ඒ ඇඳුම් බරිනුත් වැඩියි. අපේ ගමන්මලුවල බර අනවශ්‍ය විදිහට බර වැඩිවෙනවා ඒකෙන් අපිට අමතර වියදමක් එකතු වෙන්න පුළුවන්. මේ නිසා අවශ්‍ය දේවල් විතරක් ගන්න ඒ රටවල්වලින් ඇඳුම් ගන්න ප්‍රශ්නයක් නැහැ. මේ කියන කාරණා හරි විදියට හොයලා බලල කරන්න පුළුවන් නම් ගුවන් ගමනකදි අනවශ්‍ය මුදල් වැයවීම් නතර කරගන්න අපට හැකියාව තිබෙනවා.

කුමුදු විජේරත්න




Leave a Reply

Your email address will not be published. Required fields are marked *