BREAKING NEWS
Search

පොරොන්දු වූ පරිදි 3000ක දීමනාව ගිණුම් වලට

575

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව  අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා   ඊට අදාල මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසට උපදෙස් දුන්නේය.

එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි ද අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබා දීම සඳහා 2024//08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොතිබිණි.

පසුගිය 14 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක්  වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් මෙම දීමනාව අද (16) සිට ගෙවීමට කටයුතු කරනු ඇත.

රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උපකාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට 18 වැනිදා  සිට මෙම දීමනාව ලබා ගැනීමට හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *