BREAKING NEWS
Search

එකපැත්තකට කට්ටියම ඇල වුණා…. ඒත් එක්කම ඔරුව පෙරළුනා – ගංවතුර බලන්න ගිය ඔරුව පෙරළී, මරු තුරුලට ගිය චතුරංග…

378

අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ ගංවතුරේ ඔරු පදිමින් සිටි පිරිසක් රැගත් ඔරුවක් පෙරේදා රාත්‍රියේ පෙරළී යෑමෙන් එහි සිටි එක් අයකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැලණිමුල්ල, ගම්සභා පාරේ පදිංචිව සිටි 34 හැවිරිදි නිලාන් චතුරංග නැමති දෙදරු පියෙකි.

කැලණිමුල්ල ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක් පවත්වාගෙන යන ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවකයෙක්ද වේ.

කැලණිමුල්ල ප්‍රජා පොලිස් කමිටුවේ සාමාජිකයකුද වන ඔහු කැලණිමුල්ල යුද හමුදා කඳවුරේ සිවිල් ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කළේය.

ඔහු පාපැදි ශුරයකු ලෙස ජයග්‍රහණ රැසක්ද හිමි කරගත් අයෙකි.

කැලණිමුල්ල ප්‍රදේශය ගංවතුරෙන් යටව තිබූ අතර මිය ගිය නිලාන් ඇතුළු කිහිප දෙනකු විනෝදයට ඔරු පැදීම සඳහා පෙරේදා රාත්‍රී 11.00ට පමණ ඔරුවකට ගොඩ වී තිබේ.

ඒ අවස්ථාවේ හතර දෙනෙකු ඔරුවට ගොඩ වී ඇති අතර, නිලාන්ගේ මිතුරකු සහ ඔහුගේ බිරිය තවත් තිදෙනකු හා දියණියද ඔරුවට ගොඩ වී තිබේ.

මේ වන විට පිරිස නව දෙනකු දක්වා ඉහළ ගොස් තිබිණි. මීටර් 100ක පමණ දුරක් ඇළ මාර්ගය ඔස්සේ ඔරුව පැදගෙන ගොස් ඇති අතර, එක් ගැඹුරු ස්ථානයකදී ඔරුව පෙරළි ගොස් ඇත.

ඒ අවස්ථාවේ අවුරුදු 8ක් වයසැති දියණියද අතින් ඇදගෙන ඇයගේ පියා ගොඩට පැමිණ ඇති අතර, ඇයගේ මවද ගසක අත්තක එල්ලී ගොඩට පැමිණ ඇත.

මෙලෙස සියල්ලෝම ඉතා අසීරුවෙන් බේරී ඇති අතර, මියගිය තැනැත්තා ඔරුවේ එල්ලී ඇති අතර ඒ මොහොතේ ඔරුව අනෙක් පැත්තට හැරී ඇති අතර, නැවත වතාවක් ඔහු ඔරු කදේ එල්ලුණද පසුව දියේ ගිලී නොපෙනී ගිය බව දුටු අය පවසති.

ඒ අවස්ථාවේ සියලු දෙනා පිහිනමින් ඉතා අසීරුවෙන් ගොඩට පැමිණ ඇති අතර, නිලාන් පැමිණ නොතිබිණි.

අවට සිටි පිරිස් වහා ඉදිරිපත් වී සොයා බැලුවද සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, වහා මුල්ලේරියාව පොලීසියට මේ ගැන දන්වා තිබිණි.

එදින රාත්‍රියේම නාවික හමුදාව, විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද කැඳවා අතුරුදන් පුද්ගලයා සෙවීම ඇරඹීය.

කෙසේ වෙතත් මියගිය නිලාන් චතුරංගගේ සිරුර සොයාගැනීමට හැකි වූයේ ඊයේ පෙරවරුවේය.

මහේස්ත්‍රාත්වරියගේ ස්ථානීය පරීක්ෂාවෙන් පසුව ⁣පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වුණු අතර කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය ඉදිරියේ මරණ පරීක්ෂණය පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *