තම දරුවන් දෙදෙනාට සහ තම නැගනියගේ දියණියට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු අංක 1 මහෙස්ත්‍රාත් කේ. ඒ. එස්. කේ. වික්‍රමරත්න මහතා විසින් සැකකරු ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
සැකකරු වූයේ පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි. පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එච්. ඩී. ඩී. ඩයස් මහතාට ලැබුණු නිර්ණාමික තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණි.
15 හැවිරිදි දියණියන් දෙදෙනාට සහ 18 හැවිරිදි දියණියට සැකකරු විසින් බරපතළ ලෙස අපයෝජනය කිරීම හේතුවෙන් පුලස්තිගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.උ.පො.ප. ඊ. ජී. ස්වර්ණලතා මහත්මිය සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. ඒ. ඒ. කුලතිලක යන මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඉහත චෝදනා යටතේ පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර නඩු පවරන ලදී.
සැකකරු පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු පොලොන්නරුව අංක 1 මහෙස්ත්‍රාත් වික්‍රමරත්න මහතා සැකකරු පොලොන්නරුව දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද සමාජ රෝග පිළිබඳ සහ මනෝ වෛද්‍ය වරයකුගේ වාර්තාවක්ද ලබාගෙන ලබන 23 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් නිලධාරීන්ට හා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්තද සිල්වා, සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වා යන මහතුන්ගේ උපදෙස් පරිදි පුලස්තිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එච්. ඩී. ඩී. ඩයස් මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර නඩු පවරා තිබුණි.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර


















