කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරියකු පෙරේදා (08දා) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කොළඹ 12, කෙසෙල්වත්ත, සෝන්ඩර්ස් පෙදෙස පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි. ඇය මිහිඳු මාවත අසල ගණිකා වෘත්තියේ නිරතව සිටි බවට හෙළි විණැයි එම කොට්ඨාසය කියයි.
මෙම කාන්තාව රාත්‍රියේ මාර්ගයේ රැඳී සිටියදී ඇයව ත්‍රිරෝද රථයකින් ටෙක්නිකල් හන්දිය ආසන්නයේ ඇති ලොජ් එකකට රැගෙන ගොස් තිබේ. ලොජ් එක තුළදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකකරු හා මියගිය කාන්තාව අතර බහින්බස් වීමක් සිදුවී තිබේ.
එහිදී ලිංගික ඇසුරක් නොපවත්වා එම කාන්තාව ලොජ් එකෙන් එළියටවිත් සැකකරු මඟහැර යෑමට උත්සාහ දරා ඇති අතර සැකකරු තම මුදල් ඉල්ලමින් එම වීදි ගණිකාව පසුපස පැමිණ තිබේ. එම අවස්ථාවේ දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී සැකකරු තම කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි කුඩා පිහියකින් කාන්තාවගේ මුහුණ හා ගෙල ප්‍රදේශය කපා ඇතැයි අපරාධ කොට්ඨාසය කියයි.
ඝාතනයෙන් පසු පලාගිය සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 34 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ගුවන් හමුදාවේ සේවය කර ඉවත්වූ පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සමම් ද සිල්වා මහතාගේ උපදෙස් මත එහි සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ නෝමන් පලිහවඩන




















