යුද වාතාවරණය පවතින නමුත් ඊශ්‍රායලය හා මැද පෙරදිග කලාපය වෙත රැකියා සඳහා පිටත් කිරීම නවත්වා නොමැති බව ත් පෙරේදා (ඔක්. 2) ඊශ්‍රායල් වෙත පිටත්වීමට ලාංකිකයන් 118 දෙනෙකු අලුතෙන් ම ගුවන් ටිකට්පත් ලබා දුන් බව ත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක් ‘මව්බිම’ ට පැවසීය.
ඉදිකිරීම්, කෘෂිකර්ම, සත්ත්ව පාලන හා සාත්තු සේවිකා යන අංශ සඳහා මැද පෙරදිග රැකියා අවස්ථා ලැබීම මෙම වසරේ ඉහළ ගොස් ඇති බව ත් රැකියා සඳහා පිටත් කිරීම නැවැත්වීමට තරම් අවදානමක් මේ දක්වා නැති බව ත් එම නිලධාරියා කීවේ ය.
මැද පෙරදිග නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින නමුත් ඊශ්‍රායලයේ රැකියා කරන අය සුරක්ෂිත බව එම තානාපති කාර්යාල සමග සන්නිවේදනය ඔස්සේ තහවුරු කර ගෙන ඇති බව ත් එම නිලධාරියා පැවසීය.
මේ අනුව, ලාංකිකයන් 194ක නව කණ්ඩායමක් ලබන 9, 10, 12, 13 යන දිනවල මෙරට සිට ඊශ්‍රායලය වෙත පිටත් වී යෑමට නියමිත බවත් ඔහු කීය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස විදේශ රැකියා සඳහා පිටත් වී ගිය සංඛ්‍යාව සියයට 10කින් ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව 28,344කි.
මෙම වසරේ මුල් මාස 9 ඇතුළත වැඩි ම ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා යොමු වී ඇත්තේ සෞදි අරාබියට වන අතර එම සංඛ්‍යාව 38,133කි.
එසේ ම, මෙම වසරේ මුල් මාස 9 තුළ සමස්තයක් ලෙස විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 240,109කි.



















