BREAKING NEWS
Search

පදමට සුර් වූ පියාගෙන් පුතාට අපූරු උපදෙසක්

1876

මහ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ යැයි මත්ද්‍රව්‍ය පානය කර ඇඳක වැටී සිටි වැඩිමහල් පිරිමි දරුවාට තදින්ම මත්පැන් පානය කරන ලද අපූරු පියකු දුන්න ඔවදනක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි සිව් දරු පියෙකු බිරිඳ හා බාල අවිවාහක 23 හැවිරිදි පිරිමි දරුවා සමග පදිංචිව සිටියි. මෙම සිව් දරු පියාගේ වැඩිමහල් ගැහැනු දරුවන් තිදෙනාම විවාහ වී දුර බැහැර පළාත්වල පදිංචිව සිටින අතර ගැහැනු දරුවෝ මාස කිහිපයකට වරක් මවුපියන් බැලීමට නිවසට පැමිණෙති.

කුලී වැඩ කරන සිව් දරු පියා අවුරුදු ගණනාවක සිට හැන්දෑවට මත්පැන් පානය කර නිවසට පැමිණෙයි. ඇතැම් දවස්වලට බිරිඳ උයා පිහා තිබුණු කෑම හොඳ මදි යැයි පවසා සිව් දරු පියා ගැටුම් ඇති කරගෙන තිබුණු අවස්ථාව ද එමටය. මවට පහර දෙන අවස්ථාවේ දී පිරිමි දරුවා ඊට මැදිහත් වී ඇය කිහිප අවස්ථා ගණනාවක දීම බේරා ගෙන ඇත.

මෙම මවුපිය යුවළගේ 23 හැවිරිදි පිරිමි දරුවා මෑතක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති තරුණයෙකි. මවුපියන්ගේ මුදල් ගෙදර බඩු මුට්ටු උස්සාගෙන ගොස් උකස් කර මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති තරුණයා දින කිහිපයකට ඉහතදී මත්ද්‍රව්‍ය පානය කර කල්තියා නිවසට පැමිණ කාමරයේ ඇඳේ තද නින්දට වැටී තිබේ.

පියා ද හැන්දෑවේ මත්පැන් පානය කර පැමිණ බිරිඳ ගෙන් කොල්ලා තාම ආවේ නැද්දැයි විමසා ඇත. එහිදී කොල්ලා අද කල්තියා ඇවිල්ලා කාලා නිදි යැයි බිරිඳ පැවසුවාය.

පසුව සිව් දරු පියා පුතා නිදාගෙන සිටියා යැයි කියන ඇඳ අසලට ගොස් පිරිමි දරුවා ඇහැරවා ‘‘පුතේ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ’’ යැයි එහාට මෙහාට වැනි වැනී පියා පවසා තිබේ. ‘‘මහ එකා යන විදිහට තමයි පැටවු යන්නේ ඒක අහන්න දෙයක් යැයි’’ බිරිඳ සිව් දරු පියාට කීය. ‘‘ඒකත් ඇත්ත තමා මගේ කොල්ලා මම වගේ නැතිව වෙන කවුරු වගේ ඉන්න දැයි’’ බිරිඳගේ කීම සත්‍ය බව සිව් දරු පියා වටහාගෙන ඇති බව ආරංචිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *