අනුරාධපුර සිට මහව දක්වා දුම්රිය මාර්ග නවිකරණ ව්‍යාපෘතිය නිසි පරිදි අවසන් නොකර විවෘත කිරීමේ සැලසුමක් ඇති බවට ලෝකොමොටිව් ඔපරේටිං ඉන්ජිනේරු සංගමය මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.
එම දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය යථාවත් කර නොමැති බැවින් දුම්රිය මාර්ගයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ .
අනුරාධපුර සිට මහව දක්වා දිවෙන මෙම දුම්රිය මාර්ග කොටස පැයට කිලෝ මීටර් 100ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි නවීකරණය කිරීම ආරම්භ වන්නේ 2019 වසරේදී ඇරැඹි උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය යටතේයි.
ඉන්දියානු ඉර්කෝන් (IRCON) සමාගම හා ප්‍රවාහන අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වූ අතර ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 91.27ක්.
අදියර හතරක් යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ අනුරාධපුර සිට මහව දක්වා වූ කිලෝ මීටර් 65ක කොටස පසුගිය ජුනි 07 දා අවසන් කිරීමට නියමිත තිබුණත් මේ වනතෙක් එහි වැඩ අවසන් කිරීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා.
උතුරු දුම්රිය මාර්ගය මේ වන විට මාස 08කට අසන්න කාලයක් වසා දමා ඇත්තේ ද ඒ හේතුවෙන්.
එවැනි පසුබිමක් තුළ එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එය ලහි ලහියේ විවෘත කිරීමේ උත්සාහයක් පවතින බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් අදාළ නවීකරණ කටයුතු මෙතෙක් සම්පූර්ණ වී නොමැති බවයි ඔවුන් පවසන්නේ .
ලෝකොමොටිව් ඔපරේටිං ඉන්ජිනේරු සංගමය මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දන්වා ඇත්තේ මැතිවරණය ඉලක්ක කරගනිමින්, දැඩි අනාරක්ෂිත තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම වහා අත්හිටුවන ලෙසයි.
මේ අතර අනුරාධපුර – මහව දුම්රිය මාර්ග නවීකරණ ව්‍යෘපෘතියට සමගාමීව ඉදිකිරීම් ආරම්භ කළ මෙරට පළමු වනජීවි උමං මාර්ගයේ වැඩ කටයුතුද තවමත් අවසන් කර නැහැ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අවස්ථා රැසකදීම තොරතුරු වාර්තා කළා.
දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ එම වනජීවී උමං මාර්ගය ඉදි කිරීමේ සැලසුම්වලද අඩු ලුහුඬුකම් පවතින බවයි.



















