BREAKING NEWS
Search

2025 රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

267

කැබිනට් මණ්ඩලය මඟින් දෙවතාවක් අනුමැතිය ලබා දී ඇති 2025 රාජ්‍ය සේවක වැටුප් වර්ධක ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල් 25,000 ජීවන වියදම් දීමනාව සහ 24%ක අවම මූලික වැටුප් වැඩිවීමට සියලු නීත්‍යානුකූල අනුමැති හිමි ව ඇති බවයි.

වසර ගණනාවක් පැවැති වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම පත් කළේ 2024 මැයි මස 27 වැනි දින පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 2024/20 යෝජනාව අනුවයි.

ඉන් පසුවට එම කමිටුවේ අතුරු වාර්තාවට 2024 අගෝස්තු මස 12 වැනි දා යළිත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව අමාත්‍යවරයා පැවැසුවේ.

එහි නිර්දේශ අනුව රුපියල් 25,000 දක්වා ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීම, අවමය 24%ක් වන පරිදි මූලික වැටුප වැඩි කිරීම, වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම, සක්‍රීය රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හිමිවන ජීවන වියදම් දීමනාවෙන් අඩකට සමාන ජීවන් වියදම් දීමනාවක් විශ්‍රාමිකයන්ටත් ගෙවීම ආදී කරුණු නිර්දේශ කර තිබෙනවා.

2024 සැප්තැම්බර් මස 04 වැනි දා එම කොමිසමේ පූර්ණ වාර්තාවට ද කැබිනට් අනුමැතිය හිමි වූ අතර කරුණු 08කට ප්‍රතිපත්තිමය එකඟතාව ඇති කර ගැනීම ඒ අනුව සිදු වුණා.

මෙම සෑම අවස්ථාවක් සඳහා ම අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූ අතර මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ද කිසිදු ගැටලුවක් නොමැති බවට අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන් ම සිදු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *