BREAKING NEWS
Search

හිටපු මන්ත්‍රීගේ ලේලියගේ අල්මාරියෙන් හමු වූ දේ මෙන්න

208

උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු පදිංචි ගලෙන්බිඳුණුවැව ඉහළගම පාර අක්කර 20 ප්‍රදේශයේ පිහිටි නිවසක අල්මාරියක ප්ලාස්ටික් කැටයක දමා ගිනි අවි උණ්ඩ 28ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයාගේ ලේලිය අද (09දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (07දා) නියෝග කොට ඇත.

පීඩාකාරී ආඥාපනත යටතේ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ ගලෙන්බිඳුණුවැව ඉහළගම අක්කර 20 ප්‍රදේශයේ පදිංචි හතළිස් හතර හැවිරිදි කාන්තාවකි.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන ඇගේ කුඩා දරුවා ටී-56 ස්වයංක්‍රීය ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩයක් සන්තකයේ තබාගෙන සිටිනු දැක ඇති පාසලේ ගුරුවරයකු ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කොට තිබිණි. ඒ අනුව විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය සිසුවා සමග ගොස් එම සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරියක් තුළ මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා තිබූ ටී-56 ස්වයංක්‍රීය ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 17ක්, 9 එම්.එම්. වර්ගයේ පිස්තෝල සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 10ක් සහ රිවෝල්වර උණ්ඩ 01ක් සිය භාරයට ගෙන තිබිණි.

පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය වෙත කැඳවීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. මේ වනවිට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මියගොස් ඇති අතර ඔහුගේ පුත්‍රයා ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන 46 හැවිරිදි පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගලෙන්බිඳුණුවැව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *