මිතුරන් පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වැල්ලවත්ත මුහුදු තීරයේ සංවිධානය කර තිබූ රාත්‍රී උපන්දින සාදයක් අතරතුරදී දියේ ගිලී අතුරුදහන් ‘බර්ත් ඩේ බෝයි’ බේරා ගැනීමට ගිය තරුණයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන සිද්ධාර්ථ පාරේ අංක 39/10 හි පදිංචි 22 හැවිරිදි පාම්බුලිංගම් බාස්කරන් නමැති අවිවාහක කාර්මික ශිල්පියෙක්.
මෙම තරුණයාගේ 22 උපන්දිනය වෙනුවෙන් සාදයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මිතුරන් පහළොස්දෙනෙකුට පමණ වැල්ලවත්ත මුහුදු තීරයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබේ.
ඒ අතරතුරදී එහි සිටි තරුණයින් බියර් පානය කරමින් විනෝද වෙමින් සිටියදී බර්ත් ඩේ බෝයි ඇතුළු පිරිසක් විනෝදයට මුහුදේ ස්නානය කරමින් සිට ඇත.
එම අවස්ථාවේදී බර්ත් ඩේ බෝයි දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය තරුණයින් අතරින් මෙම තරුණයා දියේ ගිලි අනතුරට ලක්ව තිබේ.
පසුව පැය තුනක පමණ කාලයකින් අනතුරුව තරුණයින් පිරිස මහත් පරිශ්‍රමයක් දරා අතුරුදන් වූ තරුණයා සොයාගෙන කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.
මෙම අවස්ථාවට සාදය සඳහා සහභාගී වූ තරුණයින් පිරිස පොලිසිය කැඳවා තිබූ අතර ඔවුන්ගෙන් ඇසින් දුටු සාක්ෂි ලබාගෙන තිබේ.
එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මුහුදේ දියේ ගිලී සිදුවූ මරණයක් බවට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා නිගමනය කළේය.



















