සූරියවැව කපුකිණිස්සයාය ප්‍රදේශයේ නිවසක පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිෆලයක් දැක එය අතට ගෙන පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මවක අතින් එය ක්‍රියාත්මක වී ඇයගේ තුන් හැවිරිදි දරුවා තුවාල ලබා 19 දා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා රෝහල ගත කර ඇත්තේ සූරියවැව, කපුකිණිස්සයාය ප්‍රදේශයේ පදිංචි 03 හැවිරිදි පිරිමි දරුවෙකි.
මෙම දරුවා හා මව සිය නිවසට යාබද ඇති අසල්වැසියෙකුගේ ඉඩමේ පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිෆලයක් දැක මව විසින් එය අතට ගෙන පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ එය ක්‍රියාත්මක වී මෙම අනතුර සිදුව තිබේ.
පසුව දරුවාගේ පියා විසින් දරුවා කඩිනමින් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත. රෝහල් පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට වාර්තා කර තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. එහි දී අනාවරණය වී ඇත්තේ තුවාල ලැබූ දරුවාගේ මව ද දීර්ඝ කාලිනව පවතින අසනිප තත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවය.
අදාළ වායු රයිෆලය තුවාල ලැබු දරුවාගේ නිවසට යාබද නිවසක හිමිකරු විසින් සිය වගා වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කිරීමට රැගෙනවිත් තිබු එකක් බවත්, ඔහු එය සිය වගා බිමේ තිබූ පොල් ගසකට හේත්තු කර තිබියදී මෙම සිදුවීම වී ඇති බවත් අනාවරණය වී ඇත.
සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි විමර්ශන පවත්වයි.
මත්තල දිලීප් එන්. ජයසේකර




















