කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද අළුයම 1.00ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 12 දක්වා බලාත්මක වනු ඇති.
ඒ අනුව ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
මේ අතර 2024.08.16 පෙ.ව 8.30 සිට 2024.08.17 අළුයම 01.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගාල්ල – නෙළුව ප්‍රදේශයටයි.
එම අගය සටහන් වන්නේ මිලිමීටර් 191.5ක් ලෙසයි.




















