BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

128

අතුරුගිරියේ ද්විත්ව ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය ජූලි මස 8 වන දින අතුරුගිරිය පොලිස් වසමේ දී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව ඝාතනවලට අනුබල දුන් සැකකරුව ඊයේ (06) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත රැගෙන විත් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36ක් වූ දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු අපරාධයට පෙර සැකකරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවට අනාවරණය වී ඇත.

මෙම අපරාධය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළායෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබිය දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පොලිස් භාරයට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *