BREAKING NEWS
Search

තලවකැලෙන් අතුරුදන් වූ සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ලෙන් හමුවෙයි.නිවසින් පැන යාමට හේතුව හෙළිකරයි

196

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී අද (04) පොලිස් භාරයට ගත් බව තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසීය.

මෙම සිවුදෙනා මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු සකස් කරන කර්මාන්ත ශාලාවක රැකියාවකට ගොස් ඇති බවත්, එම සිසු සිසුවියන් අවුරුදු 14 සහ 16 වයස් කාණ්ඩවල පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බඳවාගෙන නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

අතුරුදහන්ව සිටි එම සිවුදෙනාගෙන් එක් ඥාතියෙකු එම කුරුඳු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට ඇති බවත්,  ඔහු සොයාගෙන ඔවුන් මෙම කුරුඳු කර්මාන්ත ශාලාවේ රැකියාවට ගොස් ඇත.

කෙසේ නමුත් රැකියාව නොලැබුණු නිසා එම සිවුදෙනා එම කර්මාන්ත ශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැඳී සිට ඇත.

එම සිසුවියන් තිදෙනා සහ සිසුවා සන්තකයේ තිබූ දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන සිදු කර ඔවුන් සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට තලවකැලේ පොලීසියේ නිලධාරින් පිරිසකට හැකිවිය.

ඒ අනුව මේ වනවිට එම සිව් දෙනා නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසීය වැඩිදුරටත් පැවසීය.

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවාගේ නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවන් පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *