කුවේට් සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ වාර්තා වෙනවා.
අදාළ ගුවන් මගියා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය අද අලුයම 02.00 ට පමණ කුවේට් සිටි කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබෙනවා.
එම ගුවන් යානය තුළ හොරණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සදහා අසුන් ගෙන සිට ඇති බව සදහන්.
පසුව ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී , ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කර ගැනීමට සූදානම් වනවිට ගුවන් සේවිකාවගේ වම් අත , මැණික් කටුව සහ වැලමිට අතර ප්‍රදේශයෙන් තදින් අල්ලා , පරුෂ වචනයෙන් ද බැණ ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.



















