හෙට සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
මේ වනවිට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි.
පසුගිය වසරේ සිට බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්වීම හේතුවෙන් බිත්තර ආනයනය
කිරීමට රජය පියවර ගත්තා.
ඒ අනුව සතොස හරහා සහන මිලකට බිත්තර මිල දී ගැනීමට ජනතාවට හැකි වූ අතර, මාස 3ක පමණ කාලයක සිට සතොස වෙළෙඳසැල්වල බිත්තර නොමැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.
ඒ හේතුවෙන් යළිත් වෙළෙඳපොළේ බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රජය සමග එකඟ වූ මිල ඉක්මවා බිත්තර අලෙවි වන අතර, බිත්තර වෙළෙඳ සංගම් චෝදනා කරන්නේ, රුපියල් 25ක අයුතු ලාභයක් අදාළ බිත්තර
නිෂ්පාදකයින් ලබා ගන්නා බවටයි.
බිත්තර නිෂ්පාදකයින් සිය බිත්තර, වෙළෙඳපොළට සීමිත ප්‍රමාණයකට නිකුත් කිරීම හේතුවෙන් සහ බිත්තර දමන කිකිළියන් මස් පිණිස විකිණීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ තුළ බිත්තර හිගයක් මතුව තිබෙනවා.



















