බීබීසී ප්‍රවෘත්ති සේවයේ සජීවී මෝටර් රථ ධාවන තරග විස්තර විචාරකයකු වන ජෝන් හන්ට් ගේ බිරිය හා දියණියන් දෙදෙනා හරස් දුන්නක් රැගත් පුද්ගලයකු විසින් අඟහරුවාදා (09දා) සවස එංගලන්තයේ හර්ටෆෝඩ්ශයර් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේදීම දුන්නෙන් විද මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙසේ දුනු ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ බීබීසී විස්තර විචාරක ජෝන් හන්ට් ගේ බිරිය වන කැරොල් හන්ට් (61) හා ඔවුන්ගේ දියණියන් වන ලුවිස් හන්ට් (25) හා හනා හන්ට් (28) අයයි.
ඔවුන්ව ඝාතනය කළ බවට සැක කෙරෙන 26 හැවිරිදි කයිල් ක්ලිෆඩ් නැමැත්තා සොයා ඉකුත් අඟහරුවදා සවස සිට පොලිසිය විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබූ අතර ඔහුව පෙරේදා (10දා) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඝාතකයා හරස් දුන්නක් ළඟ තබා ගෙන සිටින බැවින් ඔහු ආසන්නයට යෑමෙන් වළකින ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි. මෙම කාන්තාවන් තිදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සමූල ඝාතන කලාතුරකින් සිදු වන එංගලන්ත සමාජයේ දැඩි කම්පනයට හේතු වී ඇති බව එංගලන්ත මාධ්‍ය පවසයි.
අදාළ ඝාතනවලට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම ඝාතන සම්බන්ධයෙන් විස්තර විචාරක ජෝන් හන්ට්ගේ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ වූ සටහනට ප්‍රතිචාර වශයෙන් මියගිය අය වෙනුවෙන් ශෝක පණිවිඩ ගලා එමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. බීබීසී ක්‍රීඩා විස්තර විචාරක හන්ට් ගේ බිරිය හා දියණියන් දෙදෙනා නිවසේදී ඝාතනය කිරීම ඉලක්ක කරගෙන සිදු කරන ලද ඝාතනයක් බව ඉකුත් අඟහරුවාදා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජෝන් සිම්සන් පවසා තිබේ.
ඝාතකයා සොයා වාසය කළ නිවාස පිහිටි උතුරු ලන්ඩනයේ හා බුෂි ප්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බවත් එහි ප්‍රතිපලයක් වශයෙන් සැකකරු අත්අඩංගුවට ගැනුණු බව ඔහු කියා තිබේ. අදාළ ඝාතන සිදු වූ ජෝන් ගන්ට් විස්තර විචාරකවරයාගේ නිවස පෙරේදා (10දා) පොලිසියේ පරීක්ෂාවට ලක්ව ඇති අතර මෙම ඝාතනවලට පෙර ඝාතකයා මියගිය අයව හමු වී ඇත්දැයි යන්න පිළිබඳවද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ


















