BREAKING NEWS
Search

රිමාන්ඩ් එකේදී CCD අයිපීගේ කට කපලා

99

අල්ලස් ලබාගත් බවට වූ චෝදනාව යටතේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් පරීක්‍ෂකවරයාගේ මුඛය ප්‍රදේශය කැපීමකට ලක්කළ රැඳවියකු සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.

මුඛ ප්‍රදේශය තුවාල ලැබූ සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහුගේ කම්මුල ප්‍රදේශයට මැහුම් කිහිපයක් දමා ඇතැයි ද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවැසීය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මුදල් වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයකුගෙන් පළමුව රුපියල් ලක්‍ෂ තුනක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් 1,54,200ක් අපරාධ කොට්ඨාශය තුළදී ලබාගනිද්දි මෙම පොලිස් පරීක්‍ෂකවරයා හා ඔහු සමග සිටි කොස්තාපල්වරයකු ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය 09 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු 23 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පොලිස් පරීක්‍ෂකවරයා පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු වැටලීම් රැසකට සහභාගිවී නීතිය ක්‍රියාත්මක කළ නිලධාරියකු බව කොළඹ අපරාධ කොට්ඨාස උසස් නිලධාරියෙක් පැවැසීය.

තුවාල ලැබූ පොලිස් පරීක්‍ෂකවරයාගේ තත්ත්වය බරපතළ නැතැයි පැවසෙන අතර ඔහුගේ මුඛය ප්‍රදේශය කැපීමට ලක්කළ පුද්ගලයා කිසියම් පාතාල ප්‍රබලයකුගේ නියෝගයකින් මෙය සිදු කළා ද යන්න පිළිබඳව සැකයක් මතුවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර අවශ්‍ය වුවහොත් පොලිසියේ ද සහාය ඇතිව වැඩිදුර විමර්ශන සිදු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක දිසානායක මහතා පැවැසීය.

චමින්ද සිල්වා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *