සකල කලා සක්විති, ජැක්සන් ඇන්තනී කලාවේදියාගේ 66 වන ජන්ම දින සැමරුම පෙරේදා (08) දිනයට යෙදී තිබුණා.
ඔහු අප අතරින් සමුගෙන ඇති නමුත්, හෙළ කලා කෙත පෝෂණය කිරීම උදෙසා ඔහු කළ මෙහෙය සදාකල් රැඳෙනු ඇති.
ජැක්සන් ඇන්තනී මහතාගේ ජන්ම දින සැමරුම දා ඔහු වෙනුවෙන් පවුලේ උදවිය අපූරු කටයුත්තක් සිදුකර තිබුණා.
ඒ වසර කිහිපයක් තිස්සේ ඔහුගේ උපන්දින සැමරුම සැමරුවාක් මෙන්, ඔහු නැතුව මුත් ඔහුගේ මතකයන් එක්කාසු කරගෙනයි.
”2011 ඉඳලා සිරිතක් විදිහට කළා වගේම අදත් අප්පච්චිගෙ 66 වන උපන්දිනේට අපි කඳාන මොරාවත්ත වින්සන්ට් ද පෝල් වැඩිහිටි මාතාවන් එක්ක අප්පච්චිව සමරන්න ගියා.
එයාලා දැන් අපිට නෑයෝ වගේ. අනේ මුලදි හිටපු අම්මලා අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙනවා.
ඒ කියන්නෙ එයාලව ගෙදර එක්කන් ගිහින් නෙවෙයි. අප්පච්චිව වගේ එයාලවත් ජේසු එක්කන් ගිහින්.
අලුත් අම්මලා ඇවිල්ලා. ජීවිතේ කොයිතරම් අස්ථීරයි ද…
කොහොම වුනත්, අප්පච්චිට “අම්මා සුවඳ” දැනුණ මේ නිවාසය එදා වගේම අදත් හරිම පිං පාටයි…”





















