BREAKING NEWS
Search

කුලියාපිටිය සුසිත් ජයවංශ නමැති තරුණයාගේ දියවී ගිය මළසිරුර අසල ම තිබී තවත් පුද්ගලයෙකුගේ දියවී ගිය මළ සිරුරක කොටස් හමුවෙයි

403
අමානුෂික ලෙස ඝාතනය කර කුලියාපිටිය පනිරෙන්ඩාව මහා රක්ෂිතයට ගෙනැවිත් දමා තිබූ කුලියාපිටිය සුසිත් ජයවංශ නමැති තරුණයාගේ දියවී ගිය මළසිරුර අසල ම තිබී තවත් පුද්ගලයෙකුගේ දියවී ගිය මළ සිරුරක කොටස් හමුවී තිබෙනවා.

හලාවත අපරාධ පරීක්ෂණ (සොකො) නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇතත් මෙතෙක් එම සිරුර සහිත ඇටකටු කාගේදැයි අනාවරණය වී නැති බව හලාවත ස්ථාන පරීක්ෂණාගාරය පවසනවා.

මෙම මිනිස් ඇටකටු සොයාගෙන ඇත්තේ, මීට මාස 7කට පෙර ය. එනම් 2023-10-26 වන දා ය. එමෙන් ම, මෙම සිරුර සහිත ඇටකටු තිබී ඇත්තේ පසුගිය දා සොයාගත් සුසිත් ජයවංශගේ සිරුරට ආසන්නව ය.

මාදම්පේ පොලිස් වසමේ පිහිටි පනිරෙන්ඩාව රක්ෂිතය තුළ මිනිසෙකුගේ මළ සිරුරක් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත හලාවත කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් පනිරෙන්ඩාව රක්ෂිතයට ගොස් විමර්ශන කරද්දී මිනිස් සිරුරක් දියවී ගොස් ඇටකටු බවට පත්ව ඇති අයුරු නිරීක්ෂණය වී ඇත.

එම ඇටකටු සහිත සිරුර ද තිබී ඇත්තේ සුසිත්ගේ සිරුර හමු වූ ස්ථානයට නුදුරින් මහෝගනී ගසක් මුල ය. මියගිය පුද්ගලයා දිගු කලිසමක් ඇඳ සිට ඇති අයුරු නිරීක්ෂණය වන අතර කලිසමේ පහළ කොටස පෙනෙන්නට නොවූ අතර දෙපාවල ඇටකටු මතුවී ඇත.

එම පුද්ගලයා ඇඳ සිටි කලිසමේ පටිය, ඒ අසලම ඔහු පැළඳ සිටි බවට විශ්වාස කෙරෙන සෙරෙප්පු දෙක තවත් තැනක ද තිබී සොකො නිලධාරීන් සොයාගෙන ඇත.

උකුල් ඇටය සහිත ශරීරයේ පහළ අස්ථි වෙන ම දක්නට ඇත. හැඳ සිටි බවට විශ්වාස කරන ටී ෂර්ට් එක තවත් තැනක තිබී සොයාගෙන තිබූ අතර ඒ අසල ම බෑගයක් ද දක්නට ඇත. හිස්කබලද ඇත්තේ ශරීරයෙන් බැහැරව ය.

මොහු වස පානය කළ බවට තොරතුරක් සොකො නිලධාරීන්ට අනාවරණය නොවීය. ඒ බවට ආඝ්‍රාණය වන දුගඳක් ද නොමැති බව නිලධාරීහු කීහ.

මහෙස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිරුර නිරීක්ෂණය කළ අතර පසුව එම ඇටකටු සහිත සිරුර හලාවත ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත භාරදෙනු ලැබී ය.

කෙසේ වෙතත් මෙම ඇටකටු හමුවීම සම්බන්ධයෙන් දිවයින පුරා ස්ථාපිත පොලිස් ස්ථාන දැනුවත් කළ ද මේ වනතුරු කිසිදු පුද්ගලයෙකු එම ඇටකටු සහිත සිරුර හඳුනාගැනීමට පැමිණ නැත. ඇටකටුවල ඇති කලිසම සහ කමිසයෙන් කිසියම් පුද්ගලයෙකු අතුරුදන් වූයේ නම් එය හඳුනා ගැනීමට හැකිවුවත් එවැන්නක් ද මෙතෙක් සිදුවී නැත.

රක්ෂිතයට ඇතුළු වන මහපාරේ සිට ඇටකටු සොයාගෙන ඇති ස්ථානයට දුර මීටර 100ක් පමණ ඇතැයි ද කියති. සිරුර රක්ෂිතයේ වෙසෙන සතුන් විසින් කා දමා ඇතැයි පොලිසිය කියයි. මොහුගේ ඇටකටු හමු වූ ස්ථානය ආසන්නයේ තිබී පසුගියදා සොයාගැනුණු මරා දමන ලද කුලියාපිටිය තරුණයාගේ ස්ථානීය පරීක්ෂණ කළ නිලධාරීන් විසින් ම මෙම ඇටකටු සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වනු ලැබ ඇත.

කිසියම් පුද්ගලයෙකු මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව සිටින්නේ නම් වහා හලාවත පොලිසියට හෝ අධිකරණ වෛද්‍ය කාර්යාලයෙන් මේ බව විමසිය හැකි බව ද කියයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *