අම්පාර, ඊ.සී.සී හන්දිය අසල දී සිසුසැරිය බස්රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
ඉන් තුවාල ලැබූ පාසල් 25 දෙනෙකු ඇතුළු 33 දෙනෙකු රෝහල්ගත කළ බව අප වාර්තාකරු පැවසීය.
අම්පාර සිට නීත්ත දක්වා ගමන්ගත් පාසැල් සිසුසැරිය බස් රථයක් සහ අක්කරපත්තුව සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබිණි.
අද දහවල් 2.30ට පමණ අනතුර සිදුව තිබූ අතර, ලංගම බස් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ දී අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවු අවස්ථාවේ දී අවට සිටි සිටි පිරිස් එක්ව තුවාලකරුවන් අම්පාර රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ බස්රථ රියදුරන් දෙදෙනාය.
අනතුර පිළිබඳ සැලවීමත් සමග දෙමාපියන් දරුවන් සොයා කලබලයෙන් දිව ආ බව ද අප වාර්තාකරු පැවසීය.
අනතුර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද හට ගෙන තිබූ අතර, මේ වනවිට මාර්ගය යථා තත්ත්වයට පත්ව ඇත.
දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.




















