BREAKING NEWS
Search

එයා පරණ සින්දු අහන්න හරිම ආසයි.හෑන්ඩ් ෆ්‍රී කනේ ගහගෙන රේල් පාරේ යද්දී කෝච්චිය එනවා පුතාට ඇහෙන්න නැතුව ඇති – දුම්රියේ ගැටුණු සරසවි සිසුවාගේ මව කියන සංවේදී කතාව

433
ඔහුගේ මරණය ගැන එක එක කතා ඇහුණත් අද ඔහු අපි කා අතරවත් නැහැ..

මේ සිද්ධිය ගැන කතා කරනකොට ඔහුගේ හැන්ඩ්ස්ෆ්‍රී ගැන ගොඩක් දෙනෙක් කතා කළා..

ඔහුගේ මරණයට හේතුව එය බවයි බොහෝ දෙනා පැවසුවේ.. මේ ඒ ගැන ඇසුණු කතා..

“විශ්වවිද්‍යාල සිසුවා දුම්රියේ ගැටී වැටී සිටියදී ඒ ස්ථානයට පැමිණි අය පැවසුවේ කන්වලින් ගිලිහී බිම වැටී තිබූ හෑන්ඩ් ෆ්‍රී උපකරණවලින් ජංගම දුරකතනයේ ගබඩා කර තිබූ ගීත ඇසුණු බවයි. මේ උපකරණ කනේ ගසාගෙන යන විට බාහිර ශබ්ද කිසිවක් ඇසෙන්නේ නැහැ. මේ සිසුවාට අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමට සිදු වී තිබෙන්නේ ඒ නිසා” යැයි යටිනුවර හදිසි මරණ පරීක්ෂක සේනක කරුණාරත්න මහතා පැවසීය.

හදිසි මරණ පරීක්ෂක සේනක කරුණාරත්න මහතා එලෙස ප්‍රකාශ කළේ මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ පසුගියදා (1) ප.ව. 2.20ට පමණ ගැටී බරපතළ තුවාල ලැබ එම ස්ථානයේදීම මියගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තිසල් කිත්සරද සිල්වා (24) සිසුවාගේ මරණ පරීක්ෂණය පෙරේදා (2) පැවැත්වුණු අවස්ථාවේදීය.

මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් සිසුවාගේ මව වන වාද්දුව තල්පිටියේ පදිංචි කුසුමලතා කලංසූරිය මහත්මිය මෙසේ පැවසුවාය:

“පුතාගේ තාත්තා මීට අවුරුදු 12කට පෙර හෘදයාබාධයකින් හදිසියේ මියගියා. මට ඉන්නේ පුතා විතරයි. සිද්ධිය වූ දවසේ පුතා ගෙදරින් කැම්පස් එකට එන්න පිටත් වුණේ පාන්දර 4.50ට විතර. ලෙක්චර්ස් තියෙන නිසා උදෙන්ම යන්න ඕනැ කිවුවා. ලෙක්චර්ස් ඉවර වෙලා පුතා උදේ10.00ට විතර මට කෝල් එක්ක දීලා ජිම් එකට යනවා කිවුවා. ඊට පස්සේ පුතා කතා කළේ නැහැ. එයා කැම්පස් ආපු දවසේ ඉඳලම පිට බෝඩිමක හිටියේ. පැණිදෙණිය ගොඩගන්දෙණියේ තිබ්බ ඒ බෝඩිමේ තමයි පුතා අවුරුදු 4ම නැවතිලා හිටියේ. මේ වෙච්ච දේ මට හිතාගන්න බැහැ. එයා පරණ සින්දු අහන්න හරිම ආසයි. කොයි වෙලාවෙත් හෑන්ඩ් ෆ්‍රී දාගෙන සින්දු අහනවා. ඒවා කනේ ගහගෙන රේල් පාරේ යද්දී කෝච්චිය එනවා පුතාට ඇහෙන්න නැතුව ඇති…”

නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට දෛනිකව තිසල් කිත්සර සිසුවා දුම්රිය මාර්ගය ඔස්සේ විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙදින ඔහු විශ්වවිද්‍යාලයේ සිට නැවත බෝඩිම කරා යමින් සිටියදී මේ අනතුරට මුහුණ දී තිබෙන බව හෙළි වී ඇත.

දුම්රිය රියැදුරු ප්‍රියන්ත බණ්ඩාර දිසානායක මහතා සාක්ෂි දෙමින් මේ අනතතුර සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය:

“වෙනදා මම පදවන්නේ මුහුණත පැතලි එන්ජිම. ඒකේ යනකොට දුම්රිය මාර්ගය ඉතා කිට්ටුවෙන් පේනවා. සිද්ධිය වූ දවසේ නාවලපිටිය දුම්රියට සම්බන්ධ කර තිබුණේ මුහුණත දිග එන්ජිමක්. ඒක පදවන කොට රියැදුරුට දුම්රිය මාර්ගය පෙන්නේ තරමක් ඈතින්. පේරාදෙණියේදී මේ සිසුවා දුම්රියේ ගැටුණු බවක් මම දන්නේ නැහැ. ගෙලිඔය කිට්ටුවට යන කොට තමයි ඇමැතුමක් ලැබුණේ පුද්ගලයෙක් දුම්රියේ ගැටී තිබෙන බව.”

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරි කසුන් බණ්ඩාර ඒකනායක මහතා විසින් සිදු කර තිබේ. හිසට සිදු වූ බරපතළ හානි හා කම්පනය නිසා මරණය සිදු වී තිබෙන බව වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු කර ඇත. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා පදනම් කරගෙන මෙය දුම්රියේ ගැටීම නිසා හිසට සිදු වූ බරපතළ හානි හා කම්පනය හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට යටිනුවර හදිසි මරණ පරීක්ෂක සේනක කරුණාරත්න මහතා තීරණය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *