BREAKING NEWS
Search

ඝාතන 6ක් සඳහා ෆ්‍රෑන්ක් ව පෙළඹුවේ කුමක්ද? ඔටාවා අපරාධය සිදු කළ සැකකරුට අත්වූ ඉරණම…

579
මාර්තු 06 වැනිදා මුළුමහත් කැනඩාවම කම්පාවට පත් කරමින් එකම පවුලේ ශ්‍රී ලාංකීය මවක හා ඇයගේ දරුවන් සිවුදෙනා ඇතුළු හයදෙනකු පිහි ඇනුම් ප්‍රහාරයකින් මරණයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලාංකීය සිසුවා වන 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ඩි සොයිසා පෙරේදා  කැනඩාවේ ඔටාවා නගරයේ අධිකරණය හමුවේ දුරකථනය මාර්ගයෙන් පෙනී සිට තිබේ.

කෙටි වේලාවක් සඳහා ඔටාවා නගරයේ එල්ගින් වීථියේ පිහිටි අධිකරණය හමුවේ පෙනී සිට ඇති සැකකාර ශ්‍රී ලාංකීය සිසුවා නැවත ලබන අප්‍රේල් 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඔහු විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වී ඇති සය පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වන පූර්ව අධිකරණ නඩු විභාගය ලබන අප්‍රේල් 17 වැනිදා කැඳවීමට නියමිත බව කැනේඩියානු මාධ්‍ය පවසයි.

පෙරේදා අධිකරණය හමුවේ දුරකථනය මාර්ගයෙන් පෙනී සිට ඇති සැකකරු ඔහුගේ නම, උපන් දිනය හා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින දිනය පමණක් පවසා ඇති බව එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ෆෙබ්‍රියෝ ඩි සොයිසාගේ මානසික තත්ත්වය පිළිබඳව තක්සේරුවක් ඉදිරිපත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇතැයි ඔහුගේ නීතිවේදියා වන එවන් ලයිට්ල් පවසා තිබේ.

ඉකුත් 14 වැනිදා අධිකරණය හමුවට සැකකාර ශිෂ්‍යයා පොලිසිය විසින් රැගෙන ඒමෙන් පසු ඔහු මෙම 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඉකුත් මාර්තු 06 වැනිදා කැනඩාවේ ඔටාවා නගරයේ බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි නිවසක සිටි 35 හැවිරිදි දර්ශනී ඩිලන්තිකා ඒකනායක හා ඇයගේ දරුවන් වන 07 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්වින් වික්‍රමසිංහ, 02 හැවිරිදි රින්‍යානා වික්‍රමසිංහ හා මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ හා 40 හැවිරිදි පවුලේ හිතවතකු වූ අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණි අමරකෝන් යන අය මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සැකකරුට මිනිමැරීමේ චෝදනා හයක් හා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම පිහි ඇනුම් ප්‍රහාරයෙන් තුවාල ලැබ රෝහල්ගත කර සිටි මරා දැමූ දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ පසුව සුවය ලබා රෝහලින් නික්ම ගොස් තිබිණි. මිය ගිය හය දෙනාගේ අවසන් කටයුතු පසුගියදා ඔටාවා නගරයේදී සිදු කෙරිණි.

මේ අතර මෙම සය පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් වීමට තවත් වසර තුන හතරක් ගතවනු ඇතැයි කැනේඩියානු නීතිවේදීන් පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *