ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නියෝගය ලබා දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසිනි.
අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය.
පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීම එම චෝදනාවයි.
මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා තිබුණි.
වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බවය.
පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට මැර ප්‍රහාරයක්
පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් බව පැවසෙන අඹුසැමි යුවළක් කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකාර යුවළගේ පුතුන් දෙදෙනා ඇතුළු තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පහරකෑමට ලක්වූයේ පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
කොස්තාපල්වරු දෙදෙනා ඊයේ (25) රාත්‍රියේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී කැස්බෑව දෙස සිට පැමිණි කුඩා ලොරි රථයක් ඔවුන් ඉදිරියෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය වන දැක මොරටුව මාර්ගයට හැරවීමත් සමඟම වාහන නැවත්වීමට පොලීසියෙන් සංඥා කර තිබේ.
එම අවස්ථාවේ ලොරි රියදුරු පොලිස් නිලධාරීන් දෙසට එකවරම ලොරිය හරවා යට කිරීමට උත්සාහ දරා පළායෑමේදී ඇති වූ සැකය මත කොස්තාපල්වරු දෙදෙනා ලොරිය පිටුපස හඹා ගොස් නවතන ලෙස කෑ ගසා ඇති අතර එහිදී අවස්ථා කිහිපයක දී ඔවුන් යන මාර්ගය හරස් කරමින් ලොරිය ධාවනය කර ඇත.
ලොරි රථය අනතුරුව බටුවන්දර මාර්ගය ඔස්සේ කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයට ගොස් නිවසක් ඉදිරිපිට මාර්ගයේ නැවතීමත් සමඟම එම නිවස දෙසින් පොලු මුගුරු රැගෙන පැමිණි කාන්තාවක් ඇතුළු පස්දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් පොලිස් නිලධාරීන්ට වටකර පහර දී ඇත.
එම අවස්ථාවේදී එක් කොස්තාපල්වරයෙක් දැඩි ආයාසයක් දරා මේ බව පිළියන්දල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ජංගම දුරකථනය ඔස්සේ පැවසීමත් සමඟම ස්ථානාධිපතිවරයා කැස්බෑව සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර පොලිස් කණ්ඩායම් කිහිපයක් හෙරලියාවලට ගොස් කොස්තාපල්වරුන් දෙදෙනා මුදාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
පහරකෑමට ලක්වූ කොස්තාපල්වරු දෙදෙනා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
කොස්තාපල්වරුන්ට පහරදීමට සම්බන්ධ වූ ලොරි රියදුරු වෑතර රෝහලට ඇතුළත්ව සිටියදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ලොරියේ සිටි අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි.

















