වව්නියාවේ ගිනිතැබීමේ සිද්ධියේ දී තුවාල ලැබු පියා මරුට

131

වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවති නිවසකට කඩා වැදුනු පිරිසක් තියුණු ආයුධවලින් පහර දී, නිවසට ගිනි තැබීමේ සිද්ධියේ දී බරපතළ තුවාල ලැබු එක්දරු පියා ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සුගන්දන් නැමති 33 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ පුද්ගලයා පිළිස්සුම් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන්ගේ ඥාතින් යාපනයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා අද (26) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

උපන්දින සාදයක් පැවති නිවසකට කඩා වැදුනු පිරිසක් තියුණු ආයුධවලින් පහර දී, නිවසට ගිනි තැබීමෙන් සුගන්දන්ගේ බිරිඳ වන 22 හැවිරිදි කාන්තාවකට දිවි අහිමිවුණි.

මියගිය දෙපොළගේ වයස අවුරුදු 2ක පිරිමි දරුවාගේ උපන් දින සාදය පසුගිය 22 වනදා රාත්‍රියේ පැවති අතර, ඔවුන්ගේ ඥාතීන් හා අසල්වාසීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

සාදය අතරතුර 23 වනදා අලුයම 12.30ට පමණ මුහුණු ආවරණය කර එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් 8 දෙනෙක් එහි සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසට තියුණු ආයුධවලින් පහර දී තිබුණි.

ඉන් බියට පත් පිරිස නිවස තුළට දිව ගොස් ඇති අතර, එහිදී සැකකරුවන් නිවසට ගිනි තැබූ බව සිද්ධිය දුටුවන් පැවසා ඇත.

119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරත් අනුව එහි පැමිණි පොලීසිය, වව්නියාව නගර සභාවේ ගිනිනිවන ඒකකය, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩපවත්වා තිබුණි.

උපන් දිනය යෙදී තිබුණු දෙහැවිරිදි පුත්‍රයාගේ මව කැපුම් තුවාල හා පිළිස්සුම් තුවාල හේතුවෙන් එම ස්ථානයේදීම මියගොස් තිබුණි.

එමෙන්ම, උපන් දිනය යෙදී තිබූ දෙහැවිරිදි දරුවා, ඔහුගේ පියා වන අද ජීවිතක්ෂයට පත්වු පුද්ගලයා, අවුරුදු 7 සහ 13 වයස්වල පසුවන දැරියන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණි.

මෙලෙස ගිනි තබා ඇත්තේ, මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුගේ නිවසකටය.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටින බවද වව්නියාව පොලීසිය පැවසුවේය.

පැරණි පුවත්

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නවතම සොයාගැනීම

ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 1,000ක් පමණ දකුණින් මුහුදේ ගුරුත්වාකර්ෂණය අඩු කලාපයක් පවතින අතර ඒ සම්බන්ධව මුල්වරට විද්‍යාත්මක පැහැදිලිකිරීමක් සිදුකිරීමට ඉන්දිය විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ.

මෙම කලාපය හැඳින්වෙන්නේ ඉන්දියානු සාගර ගුරුත්වාකර්ෂණ කුහරය ලෙසය.

සාමාන්‍ය ගෝලීය ගුරුත්වාකර්ෂණයට සාපේක්ෂව අඩු ගුරුත්වාකර්ෂණයක් පවතින මෙම කුහරය වර්ග කිලෝමීටර මිලියන 3 ක සාගර කලාපයක පැතිර පවතියි.

මේ කුහරය කලාපය තුළ මුහුදු මට්ටම පවතින්නේ, සාමාන්‍ය මුහුදු මට්ටමට වඩා මීටර් 106 ක් පහළිනි.

1948 දි නෙදර්ලන්ත භූ විද්‍යාඥයින් කණ්ඩායමක් පළමුවරට මෙම සොයාගැනීම සිදුකර තිබූ නමුත් එහි පවතින පීඩන තත්ත්වයට හේතුව මෙතෙක් පැහැදිලි කර නොතිබුණි.

බැංගලූරු හි පිහිටි ඉන්දීය විද්‍යා මධ්‍යස්ථාන නිකුත් කළ නවතම වාර්තාවක් මගින් වසර මිලියන 20 ක කාලයක් තිස්සේ මෙම කලාපයේ භූ තැටිවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඔවුන් නිගමනය කරන්නේ පෘථිවි අභ්‍යන්තරයෙන් පැන නගින ලාවා සහ ගිලී යමින් පවතින භූ තැටියක් එකිනෙක තෙරපීමෙන් මෙම කුහරය හටගෙන ඇති බවය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *