ඊට අමතරව ක්‍රිකට් ආයතනයේ සිදු වී තිබෙන මහා ජාවාරම් වංචා හා දූෂණ පිළිබඳ දිනයක, දින දෙකක විවාදයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි තමා පක්ෂ නායකයන්ගෙන් හා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විතානගේ මහතා සඳහන් කළේය. කොළඹ, බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ (23) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.
“දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රිකට් ආයතනයේ සිදුවන මංකොල්ලය මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න කටයුතු කර ඇත්තේ කුමන අයුරින් ද කියලා පාර්ලිමේන්තුව තුළ එකින් එක තොරතුරු හෙළි කරලා විවාදයක් ඉල්ලනවා.
සමාජ මාධ්‍ය ජාලා තුළ ඔස්ට්‍රේලියානු විස්සයි 20 ලෝක කුසලාන සංචාරය ගැන ක්‍රීඩා ඇමැති පත් කළ කමිටුව වාර්තාවට අනුව විගණකාධිපති කාර්යාල වාර්තාව නිකුත් වෙලා තියෙනවා. මේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තු බහුතරයක් දැකලා නෑ. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව එය මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනා. නමුත් මේක දැන් විවිධ අය අතර තියෙනවා. මේ රටේ නීතියේ ආධිපත්‍ය බල්ලට යන ආකාරයෙන් කටයුතු කරලා තියෙන්නේ කවුද කියලා, මේක පාර්ලිමේන්තුවට යවන්න කළින් එළියට ගියේ කොහොමද කියලා හොයලා බලන්න ඕනා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සීඅයිඩී ගිහින් මේක කොහොමද එළියට ගියේ කියලා හොයන්න කියන්න. මේක විගණකාධිපති කාර්යාලයෙන් දෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට. ඒක කොහොමද එළියට ගියේ? පාර්ලිමේන්තුවේ තවම සභාගත වෙලාත් නෑ. මේක නිල වාර්තාව වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. වරද කාගෙන් වුණාද කියලා හොයලා බලන්න ඕනා. මේ වාර්තාව මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන සාමාන්‍ය ජනතාව අතට ගියොත් මේ ක්‍රිකට් බලධාරීන් කාටවත් ඔතැන ඉන්න හම්බ වෙන්නේ නෑ. එක අතකට මේක හැම කෙනෙක්ම අතට යන්න ඕනා. හැම කෙනෙකුටම අපේ රටේ ක්‍රිකට් විනාශ වෙච්ච තැන පිළිබඳ දැනගන්න ඕනා” මන්ත්‍රීවරයා කියා සිටියේය.
“හෙළි කළ යුතු වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. මේක සාවාද්‍යයි කියනවා නම් ඒක නියෝජ්‍ය විගණධිපතිවරයාගේ භාරයේ තියෙන්නේ. මේවා වැරදි නම් එතුමා ඒක කියන්න ඕනා. අපි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. ක්‍රිකට් ක්‍රීඩාවට හා ක්‍රීඩකයන්ට ආදරේ නිසා තමයි මේ කල්ලියක් විසින් මේ රටේ කිසියම් කණ්ඩායමකට විතරක් සුරසැප විඳින්න හදාගත්තු ඇත්ත කතාව දැනගන්න ඕනා. ක්‍රිකට් ආයතනය මොනවද කරන්නේ කියන කාරණාව මේ විගණධිපති වාර්තාවේ තියෙනවා. ක්‍රීඩකයන් වෙනුවෙන් බොරුවට කිඹුල් කඳුළු හෙළන්නේ නැතිව අඩුම තරමින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් ක්‍රීඩකයන්ට ලැබුණු ඩොලර් ලක්ෂ 3ක තෑගි මුදල ක්‍රීඩකයන් අතර බෙදා දෙන්න කියලා අපි ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලනවා. ක්‍රීඩකයන් වෙනුවෙන් යුතුකම් ටික ඉටු කරන්න. තමන්ගේ හොරකම් වංචා ටික ජඩ වැඩ ටික වහගන්න හදන්න එපා.” හේෂා විතානගේ මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“2022 විස්සයි20 ලෝක කුසලාන විශේෂ විගණනයේ කරුණු ටිකක් කියන්නම් මේ තරගාවලිය නැරඹීම සඳහා විධායක කමිටුව ක්‍රිකට් ආයතනයේ රටේ ක්‍රිකට් නංවන්න තියෙන ආයතනයේ අය දින 10ක් විධායක කමිටුවේ 14 දෙනෙක් වෙනුවෙන් හය කෝටි හැත්තෑහය ලක්ෂ අනූතුන්දහස් හයසිය හැත්තෑ නවයක් වියදම් කරලා තියෙනවා. රුපියල් මිලියන 67කට අධික මුදලක් පාවිච්චි කරලා තියෙනවා කියලා මේ විගණන වාර්තාවේ තියෙනවා. ක්‍රිකට් ආයතනය මහ විශාල මුදල් කන්දරාවක් තියෙන විශාල වගකීමක් තියෙන ආයතනයක්. ක්‍රිකට් ආයතනයට නිලධාරීන් පත්වන විනිවිදභාවයක් ඇති කරන්න කිසිම ක්‍රීඩා ඇමැති කෙනෙකුට පුළුවන් වෙලා නෑ. බොහෝ ක්‍රීඩා සමාජවලට සංතෝසම් දීලා ඡන්දය අරගන්නවා. ඇත්තටම සුදුස්සන් නෙවෙයි පත් වෙන්නේ. ඒක මේ කරන ක්‍රියාවලින් පැහැදිලියි.
ඔස්ට්‍රේලියානු සංචාරයට ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා වෙනුවෙන් විතරක් මැච් බලන්න ගිහින් එන්න එක් කෝටි දාහත් ලක්ෂ විසිදහස් අටසිය තිස්දෙකක්, මිලියන 11කට වැඩි මුදලක් එක පුද්ගලයකුට විතරක්. මොහාන්ද සිල්වා ලේකම්තුමා පනස් හතර ලක්ෂයකට අධික මුදලක්. ජයන්ත ධර්මදාස උප සභාපති තුමා පනස් එක් ලක්ෂයකට වැඩි මුදලක්, රවීන් වික්‍රමරත්න උපසභාපතිතුමා හතළිස් හත් ලක්ෂයකට වැඩි මුදලක්, ලසන්ත වික්‍රමසිංහ භාණ්ඩාගාරිකතුමා හතලිස් අට ලක්ෂයකට වැඩි මුදලක්, සුජීව ගොඩලියැද්ද සහකාර භාණ්ඩාගාරිකතුමා ලක්ෂ හතළිස් හතකට වැඩි මුදලක්, ක්‍රිෂාන්ත කපුවත්ත සහකාර ලේකම් ලක්ෂ තිස්හයකට වැඩි මුදලක්, ජනක පතිරණ විධායක කමිටු සාමාජික ලක්ෂ හතළිහකට වැඩි මුදලක්, තිලක් වත්තුහේවා විධායක කමිටු සාමාජික තිස්නව ලක්ෂයකට වැඩි මුදලක්, සමන්ත දොඩම්වෙල ලක්ෂ හතළිහකට වැඩි මුදලක්, ප්‍රියන්ත අල්ගම ලක්ෂ තිස් නවයකට වැඩි මුදලක්, බන්දුල දිසානායක ලක්ෂ තිස්අටකට වැඩි මුදලක්, නිශාන්ත ද සිල්වා ලක්ෂ තිස්හයකට වැඩි මුදලක් සහ නලින් අපෝන්සු ලක්ෂ හතළිහකට වැඩි මුදලක් වියදම් කරලා තියෙනවා” මන්ත්‍රීවරයා කීවේය.
“හොඳම දේ කිසිම සම්බන්ධයක් නැති තවත් 17 දෙනකුට යන්න අවසර ලිපි නිකුත් කරලා තිබීමයි. වීසා ලිපි නිකුත් කිරීම ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හා ලේකම්ගේ අත්සන සහිතව. ෂම්මි සිල්වා මහතා ගිහින් තියෙනවා 21 දෙනෙක් අරගෙන. එතුමාගේ බිරිය, බිරියගේ සොහොයුරා, බිරියගේ මව සහ හිතවතුන්. ජයන්ත ධර්මදාස උප සභාපතිතුමා, රංගන ශිල්පිනී ශලිනි තාරකා ඇතුළුව හිතවතුන් අරං ගිහින් තියෙනවා. ඒ වගේම මේ සංචාරයට ගිය ක්‍රිකට් නිලධාරින්ගේ බිරින්දෑවරුනුත් ගිහින් තියෙනවා. ඒ වගේම සංචාරයට ගිය එක මහත්තයෙක් තවම ඇවිත් නෑ. එයාගේ නම මීමනගේ සංජීව නිශාන්ත පෙරේරා, ඒ මහතා වැඩ කරපු ආයතනයෙනුත් දැන් සේවය හැරගියා කියලා සලකලා තියෙනවා. අද වෙනකල් ක්‍රිකට් ආයතනය මේ ගැන කිසිම ප්‍රකාශයක් කරලා නෑ. මේ හෑල්ලු වෙන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව. මේවා රටේ ජනතාව දැනගන්න ඕනා.
මේ කාරණා සම්බන්ධව මම කථානායකතුමාගේ අවධානයට යොමු කරනවා. අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරනවා. මේ විගණකාධිපති වාර්තාව ගැන ඉතා කඩිනමින් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. නැතිනම් විපක්ෂය වෙනුවෙන් දිනක් ලබාගෙන හරි කල් තැබීමේ විවාදයක් ලබාදෙන්න කියලා. ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ ජීවිකාව කරගත්තු ජාවාරම්කාරයන් ගැන කතා කරන්න.
තව ටික කාලයක් යනකොට මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැතිවෙලා යන්න පුළුවන්. අන්න එතැනින් බේරාගන්න පියවර ගන්න ඕනා” හේෂා විතානගේ මන්ත්‍රීවරයා අවසන් වශයෙන් කියා සිටියේය.

















