පෙම්වතියගෙන් සිය පුත්‍රයා බේරාදෙන ලෙස ඉල්ලමින් ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු ඊයේ (22) උදෑසන ගලේවෙල පොලිසියට පැමිණ ඇත්තේ සිය පුත්‍රයා ඔහුගේ පෙම්වතියගේ නිවසේ නැවතී සිටින බවත් ඉන් ඔහු මුදා දෙන ලෙසත් ඉල්ලමින්.
පසුව මෙම පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී ඇති අතර, නීතිමය කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාගෙන තිබෙනවා.
ඉන් අනතුරුව මොහු ලියුම් කවරයක දැමූ යමක් ස්ථානාධිපතිවරයාගේ මේසය මත තිබූ පොතක් යටින් තබා ඇති බවයි වාර්තාවන්නේ.
පසුව පොලිස් ස්ථාධිපතිවරයා එම ලියුම් කවරය විවෘත කර බැලීමේදී රුපියල් පන්දහසේ නෝට්ටුවක් ඒ තුළ තිබෙන අයුරු දැක තිබෙනවා.
එහිදී මෙම මුදල කුමක් සඳහාදැයි විමසූ අවස්ථාවේ සැකකරු පවසා ඇත්තේ මුදල් ලබාගෙන සිය කාර්යය ඉටු කර දෙන ලෙසයි.
එහිදී රාජ්‍ය සේවකයෙකුට අල්ලස් ලබාදීමේ චෝදනාව මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ.




















