BREAKING NEWS
Search

ලස්සන වෙන්න ආස අයට කෘත්‍රිම ක්‍රීම් වෙනුවට ගෙදරදීම හදපු ස්වාභාවික ක්‍රීම් එකක්

281

පැහැපත්, කුරුලෑ ලප කැළැල් නොමැති සමකට සෑම කාන්තාවක්ම කැමතියි. ඇතැම් අවස්ථාවලදී එවැනි සමක් ලබා ගැනීම වෙනුවෙන් කාන්තාවන් විවිධ රසායනික ද්‍රව්‍යයන් අඩංගු සමට අහිතකර නිෂ්පාදන වර්ග භාවිත කරනවා. එවිට සිදුවන්නේ සම තව තවත් අඳුරු වීමයි. සම නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ස්වාභාවික සත්කාරයන් සිදුකිරීමට පෙලඹෙන කාන්තාවන් ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසාම රූපලාවණ්‍යාගාරවල නිෂ්පාදනය කරන ක්‍රීම් ආලේප කිරීමට යොමු වෙනවා.

මේවා ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති බව පැවසුවත් සැබැවින්ම සිදුවන්නේ බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග කිහිපයක් මිශ්‍ර කර වෙනත් ඇසුරුම්වල බහා විකිණීමයි. කිසිදු ලේබලයක් හෝ කල් ඉකුත්වීමේ දිනයක් හෝ නිෂ්පාදිත දිනයක් සඳහන් කර නොමැති මෙම සමේ ආලේපන භාවිත කිරීමෙන් සමට විශාල ලෙස හානි සිදුවීමට ඉඩ තියෙනවා. මෙවැනි ආලේපන ඉතාම පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි වුවත් මේවා සමට අහිතකර තත්ත්වයන් ඇති කරනවා.

බ්ලීචින් අඩංගු ආලේපන භාවිත කිරීමෙන් සමට සිදුවන හානිය පිළිබඳව සෑම කාන්තාවක්ම හොඳින්ම හඳුනනවා. සම සුදුමැලි වීම, කාලයත් සමඟ සම පිලිස්සුණු ස්වභාවයක් දිස් වීම මෙම Home Made Cream  වර්ග ආලේපනය කිරීම නිසාද සිදුවිය හැකියි. එයට හේතුව තමයි වෙළෙඳපොළෙන් මිලදී ගනු ලබන ලේබල් සහිත බ්ලීචින් ක්‍රීම් එකකත් කිසිදු සඳහනක් නොමැති Home Made Cream  එකකත් කිසිදු වෙනසක් නොමැති වීමයි.

මෙම ආලේපන භාවිත කළ පසු සම ඉක්මනින්ම පැහැපත් වෙනවා. නමුත් ආලේපනය භාවිත කිරීම නැවැත්වූ පසුව මුහුණේ තිබුණු පැහැය අඩු වී සම පිලිස්සුණු ස්වභාවයක් දිස් වෙනවා. මේ නිසා ඇති වන ආසාදන තත්ත්වයන් අවම කර ගැනීමට විශාල ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. වඩාත්ම සුදුසු වන්නේ මෙවැනි ආලේපන වර්ග භාවිත නොකිරීමයි. නිවසේදීම පහසුවෙන් සාදාගත හැකි ස්වාභාවික ආලේපන, ස්වාභාවික ජ්චජඪචත සත්කාරයන් සිදු කිරීමෙන් සම නිරෝගී වෙනවා සේම පැහැපත් සමක්ද ලබාගත හැකියි.

නිවෙසේදීම ක්‍රීම් වර්ගයක් සාදා ගන්නේ නම් මුලින්ම ඒ පිළිබඳව දැනුවත් භාවයක් අවශ්‍යම වෙනවා. ක්‍රීම් වර්ග පිළියෙල කර ගැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා. නිසියාකාරව ක්‍රීම් එකක් සාදා ගැනීමට නම් රසායනික ද්‍රව්‍ය නොයෙදූ Base Cream එකක් වෙළෙඳපොළෙන්  මිලදී ගත යුතු වෙනවා. නමුත් රසායනික ද්‍රව්‍ය නොයෙදූ Base Cream වර්ග ලංකාවේ වෙළෙඳපොළ තුළින් මිලදී ගැනීමට ඇති අවකාශය අඩු නිසා පිටරටින් ගෙන්වා ගැනීමට සිදු වෙනවා.

එලෙස ගෙන්වා ගත හැකි නම් ඔබට පහසුවෙන්ම සමට හිතකර ක්‍රීම් එකක් නිවෙසේදීම පිළියෙල කරගත හැකියි. රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා සමට කිසිදු හානියක් නොවන අතර යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

– රසායනික ද්‍රව්‍ය රහිත Base Cream එකක්

– කුංකුම රේණු කිහිපයක්

– සූරාගත් කෝමාරිකා මදය

සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍ර කළ පසු පැය 2-3ක් තිබෙන්නට හරින්න. කුංකුම රේණු මිශ්‍ර වූ පසු ආලේපනය කහ පැහැයට හැරේ. එවිට නැවත වරක් ටූත් පික් එකක් ආධාරයෙන් නැවත මිශ්‍රණය කලවම් කරන්න. ඉන්පසුව මෙය ආලේප කළ හැකියි. නමුත් මේ සඳහා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අන්තර්ගත නොවන නිසා මිශ්‍රණය ශීතකරණයේ බහාලීම සුදුසු වේ. ක්‍රීම් එක නිපදවා ගැනීමේදී කුඩා ප්‍රමාණයක් සාදා ගැනීමට සැලකිලිමත් වෙන්න. මෙම ආලේපන රාත්‍රියට මෙන්ම දහවල් කාලයටද ආලේප කළ හැකියි.

Home Made Cream  වර්ගයක් නිපදවා ගැනීමට ඉහත සඳහන් පියවර ඔබට උපකාරී වන නමුත් මේ පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කළ යුතු වෙනවා. කල්තබා ගැනීමේ ගැටලුවක් ඇති නිසාවෙන් දින කිහිපයකට සෑහෙන පරිදි නැවත නැවත ආලේපනය සාදා ගැනීම වඩාත් සුදුසුයි.

නිකේෂලා රණතුංග




Leave a Reply

Your email address will not be published. Required fields are marked *