Search

අසල්වැසි කාන්තාවගේ බලු සුරතලා බේරාගැනීමට ගිය දෙදරු මව දුම්රියට බිලි

1363

තම අසල්වැසි නිවෙසක කාන්තාවක විසින් සුරතලයට ඇතිකරන බල්ලෙකු දුම්රියේ  ගැටෙන්නට ගිය අවස්ථාවේ එම බල්ලා බේරාගැනීමට ගිය 45 හැවිරිදි දෙදරු මවක දුම්රියේ හැපී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මරුමුවට පත්ව ඇත.

එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව, කදුරුවෙල අංක 20 ලිපිනයේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ ඉරේෂා ප්‍රසංගනී (45) යන අයයි.

ඉකුත් 17 වෙනිදින උදේ 8.30ට පමණ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට මෙම කාන්තාව හැපී ඇත්තේ ඇය පදිංචිව සිටි කදුරුවෙල පිහිටි නිවෙසට ආසන්නයේදීය. අසල්වැසි නිවැසියන්ට අයිති සුරතලයට ඇතිකරන බල්ලා නිවෙස පිටුපස පිහිටි දුම්රිය මාර්ගය දෙසට දිවයනු මෙම කාන්තාව දැක තිබෙන අතර ඒ අවස්ථාවේ දුම්රියක් එන ශබ්දය ඇසුණු නිසා ඇය බල්ලා බේරා ගැනීමට දුම්රිය මාර්ගයට දුවගොස් තිබෙන අතර එහිදී දුම්රියේ ගැටී තිබෙන බව සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. එම අනතුරින් බරපතළ ලෙස තුවාල ලබාසිටි කාන්තාව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියද ඇයගේ මොළය මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරගෙන තිබේ. එවැනි රෝගියෙකුගේ වකුගඩු සහ අක්මාව ආදී ශරීර අවයව වෙනත් රෝගීන් තිදෙනකුගේ ජීවිත බේරාගැනීම සඳහා පරිත්‍යාග කළහැකි බව වෛද්‍යවරුන් විසින් රෝගියාගේ පවුලේ ඥාතීන්ට දැනුම්දී ඇත.

ඒ අනුව මෙම රෝගියාගේ වකුගඩු සහ අක්මාව පරිත්‍යාග කිරිමට ඔවුන් එකඟවී ඇති අතර ඒ ලබාගත් වකුගඩු බද්ධ කිරීම් පොලොන්නරුව වෘක්කවේද රෝහලේදී සහ මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදුකර ඇතැයි විශේෂඥ වෛද්‍යවරු සඳහන් කළහ. රෝගියාගෙන් ලබාගත් අක්මාව වෙනත්  රෝගියෙකුට බද්ධ කිරීම සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ලබාදී ඇතැයිද වෛද්‍යවරු කීහ.

කරුණාරත්න ගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *