මැදපෙරදිග රැකියාව කරන කාන්තාවක් මෑතකදී ඇය ඇතුළු සියලු කාන්තාවන් විදින දුක් පීඩා සඳහන් කරලා ටික්ටොක් වීඩියෝවක් තමන්ගේ ගිණුමේ පල කරලා තිබුනා. එය මුහුණු පොතේත් මේ වෙද්දි හැමෝගේම කතාබහට ලක්වෙනවා වගේම ඒ විඩියෝවෙන් පසුව ඔවුන් ගැන සානුකම්පිත අදහස් හුවමාරු වෙනවා.
පහත දැක්වෙන්නේ ඒ වීඩියෝපටයේ ඇය ප්‍රකාශ කළ අදහස් ඇගේ වචනයෙන්ම…
“මම කතා කරන්නේ මැද පෙරදිග ඉන්න ගෘහ සේවිකාවන් ගැන විතරයි. පළවෙනිම දේ අපි මෙහෙට එන්නේ දුප්පත්කම නිසා. මේක ආතල් ගන්න ආපු ගමනක් නෙමෙයි. විශ්වාස කරලා තමන් එක්ක ආපු ගෑනිව අතපය හතර හොඳට තියාගෙනත් පිටරටවල පක්කලිකං කරන්න යවලා සල්ලි හම්බ කරන මනුස්සයෙක්ට මනුස්සයෙක් කියන්න පුළුවන්ද? ඒ ගැන අපි කතා නොකර ඉමු. මෙහෙ උදේ පාන්දර නැඟිටගෙන රෑවෙනකං වැඩ කරන සමහර අක්කලාගේ බඩේ තියෙන්නේ උදේට බොන තේ එකයි චීස් කෑල්ලක් ගාපු රොටී කැල්ලක් විතරයි. දූවිලි කෑල්ලක් නැතිවෙන්න පිහිදාන්න ඕනේ. බිම මොබ් කරන්න ඕනේ. ටොයිලට් හෝදන්න ඕනේ. 15කට 20කට කල්දේරම්වල උයන්න ඕනේ. රෙදි කඳුගනන් හෝදලා අත කැඩෙනකං අයන් කරන්න ඕනේ. ඒක කොච්චර දුකක්ද කියලා හිතාගන්න පුළුවන්ද? වැඩ කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒත් මානසික ආතතිය?
මෙහෙ බත් එකක් බෙදාගෙන කන්න ඉඳගත්ත ගමන් කතා කරනවා වැඩකට. ඒ වැඩේ කරලා ඉවර කරලා එද්දි කන්න තියෙන ආසාව නැති වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට මේ රටවල වැඩ කරන අක්කලාගේ අත් දිහ බලන්නකෝ. කෙමිකල්වලට අත් කළු වෙලා පුපුරලා. රට නිදාගන්න ගියාම කොන්දෙ කැක්කුම. මෙහෙ වැඩ කරන අයට නැති ලෙඩක් නැහැ. ඒ ඔක්කොටමත් වඩා වැඩියි හිතේ දුක. ඒක කියාගන්න කෙනෙක් නැහැ. තමන්ගේ තරුණ කාලේ ගෙදරක බිත්තිහතරට කොටු වෙලා ජීවත් වෙන ගෑනු කෙනෙක්ට ඇයි මෙච්චර කතා කියන්නේ මිනිස්සු?
ගෙදරින් කතා කරලා ඔයා හොඳින්ද අහන්නේ කලාතුරකින්. ගොඩක් අය කතා කරලා අහන්නේ පඩිය එවන දවස. නැත්තං වෙන මොනාහරි එවන්න කියලා. හම්බෙන පොඩි නිදහස් වෙලාවක සෝෂල් මීඩියා එකට ඇවිත් හිනාවෙලා කතා කරලා යන ගෑනුන්ට ගොඩක් අය පද කියනවා. ඒ අය සතුටින් නෙමෙයි ඉන්නේ. ඒ අය ගොඩක් ආසයි මෙහෙම ඇවිත් කතා කරලා යන්න. ගෑනු අපිත් ආසයි සතුටින් ඉන්න. ආදරේ කරන්න ආදරේ ලබන්න. කවුරුහරි ආදරෙන් කතා කළොත් ඒකට මේ ගෑනු රැවටෙනවා. සම්මත වුනත් අසම්මත වුණත් එයාලට ඕනේ ආදරේ කරන්න. ඒක වැරදි තෝරාගැනීමක් වෙන්න ඇති. ඒකනේ ගොඩක් අයගෙ නරක වීඩියෝ තියෙන්නේ. සල්ලිත් අරගෙන ඒ ගෑනු කෙනාව නරක ගෑනියෙක් කරලා යන සමාජයක් මේක.
ඔයාලා මිනිස්සු ගැන දන්නේ නැත්නම් ඒ අයට ඇඟිල්ල දික් කරන්න එපා. හිත හදන්න බැරි නම් හිත කඩන්නේ නැතිව ඉන්න. ගෑනු රැවටෙන එක නතර කරන්න බැරිනම් නම් ඔයාලා රවට්ටන්නේ නැතුව ඉන්න. මැදපෙරදිග වැඩ කරන ගෑනු කෙනෙක්ගේ හිතකට එබිලා බලන්න ඒ හිත්වල කොච්චර දුකක් තියෙනවාද කියලා.”




















