BREAKING NEWS
Search

කොස්ගොඩ තාරක පොලිස්සිය විසින් එලොව යවයි

288

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් ‘කොස්ගොඩ තාරක’ පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදු කළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී අද (මැයි 13) අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට සැකකරු විශේෂ මෙහෙයුමක් සඳහා සැකකරු රැගෙන ගොස් ඇති බවය.

එම අවස්ථාවේ දී ඇති වූ සිදුවීමකදී පොලිසිය ගිනිඅවි මගින් සිය බලය පාවිච්චි කර ඇති අතර ඉන් සැකකරු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ 34 හැවිරිදි මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

එම සිදුවීමේ දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුගේ මරණ පිළිබඳ විශේෂ විමර්ශනයක් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන් ම, මේ සම්බන්ධයෙන් අත්තනගල්ල අධිකරණයට වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමටත් ඉන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමටත් නියමිතය.

සැකකරු කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව ආදී පොලිස් වසම්වල සිදුවූ මනුෂ්‍ය ඝාතන 7ක්, කොල්ලකෑම් 21ක් සම්බන්ධයෙන් අවශ්‍ය වූ සැකකරුවෙකු මෙන් ම එම කටයුතු සංවිධානය කළ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන් ම, සැකකරු 2018 වසරේ දී මාතර නගරයේ රන්භාණ්ඩ වෙළෙඳ සලක් කොල්ලකෑමට නායකත්වය දී ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමක් ද සිදුකර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *