අවශ්‍යතරම් සහල් රට තුළ දැනට පවතින බැවින් සහල් ආනයනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කෘෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමඟ අද (01) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
රසායනික පොහොර ආනයනය නතර කිරීමේ තීරණයත් සමඟිනු යි මෙරට සහල් අර්බුදය නිර්මාණය වීම ඇරඹුණේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ කෘෂි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලැබූ කාබනික පොහොර ප්‍රතිපත්තිය මෙරට වී වගාවට ද බරපතළ ලෙස බලපෑවා.
දිගින් දිගට ම ගොවියන් විරෝධතාවල නිරත වෙමින් කියා සිටියේ, සිය වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙස යි.
නමුත් අද වන තුරුත් ඒ සඳහා සාර්ථක පියවරක් රජය විසින් ගෙන නො මැති අතර, ඉතා අධික කළු කඩ මුදලකට පොහොර මිල දී ගැනීමට යි ගොවියාට සිදු වී ඇත්තේ.
පසුගිය යල කන්නයේ වී අස්වැන්න ද බරපතළ ලෙස අඩු වූ අතර, චීනය, ඉන්දියාව හා බුරුමය වැනි රටවලින් මෙරටට අවශ්‍ය සහල් ආනයනය කිරීමට ද සිදු වුණා.



















